මාතලේට කුඩු බෙදූ සංගීත මාස්ටර් අත්අඩංගුවට.

සංගීත මාස්ටර් කෙනෙකු ලෙස ප්‍රසිද්ධියට පත් පුද්ගලයෙකු, වෙනත් නමකින් පෙනීසිටිමින් මාතලේ සහ ඒ ආසන්න ප්‍රදේශවල රුපියල් ලක්ෂ 70කට අධික වටිනාකමකින් යුත් ‘අයිස්’ මත්ද්‍රව්‍ය සිල්ලරට බෙදාහැරීමේ ජාවාරමක නිරතව සිටියදී මාතලේ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

දොඹදෙනිය ප්‍රදේශයේ කුළී නිවසක් ඉලක්ක කර ඊයේ අලුයම සිදුකළ මෙම වැටලීමේදී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 50ක්, ජංගම දුරකථන දෙකක් සහ සිම් කාඩ්පත් 6ක් පොලිස් භාරයට ගෙන තිබේ. ඉතා කලාත්මක ලෙස කැටයම් කපා ලීයෙන් නිමවා තිබූ ආරක්ෂිත කුඩා පෙට්ටියක් තුළ මෙම අයිස් තොගය ඉතා සූක්ෂම ලෙස සඟවා තිබී ඇත. පොලිස් නිලධාරීන් නිවසේ දූවිලි සහ මකුළු දැල්වලින් පිරී තිබූ කාමරයක් සෝදිසි කිරීමේදී මෙම කැටයම් සහිත රහස් ලී පෙට්ටිය සොයා ගෙන ඇත.

මහාධිකරණයෙන් පවා දඬුවම් නියම වී ඇති, දිවයිනේ අධිකරණ කිහිපයකම මත්ද්‍රව්‍ය නඩු පවතින මෙම ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවෙක් වන මෙම සැකකරු නීතියෙන් ගැලවීම සඳහා උපක්‍රමශීලීව කටයුතු කර ඇත. ඔහු එක නිවසක මස කිහිපයකට වඩා පදිංචිවී නොසිටි බවද පොලිසිය පවසයි .

සැකකරු මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සබඳතා පවත්වා ඇත්දැයි යන්න පිළිබඳව මාතලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.