සමාජ මාධ්‍ය ක්‍රියාකාරින්ට එරෙහිව දිල්ශාන්ගෙන් C.C.I.B යට පැමිණිල්ලක්

සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් කිහිප දෙනෙකුට එරෙහිව හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න දිල්ෂාන් මධ්‍යම අපරාධ විමර්ශණ කාර්‍යංශය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත .

ඒ අත්අඩංගුවේ පසුවන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් සමඟ තමන්ව සම්බන්ධ කරමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අසත්‍ය හා අපහාසාත්මක ප්‍රචාර ගෙන යන බවට ඔහු මෙම පැමිණිල්ල මගින් කියා සිටී .

එම පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ සමාජ මාධ්‍ය මෙහෙයවන පුද්ගලයන් පිරිසක් පරිශීලක නැරඹුම් වාර (Views) ඉහළ දමා ගැනීමේ අරමුණින් තමන්ගේ කීර්තිනාමයට දැඩි හානියක් සිදු කරමින් සිටින බවයි.

තමන් කිසිදු අයුතු මූල්‍ය ගනුදෙනුවකට හෝ නීතිවිරෝධී ක්‍රියාවකට සම්බන්ධ නොමැති බවත්, මෙම චෝදනා හේතුවෙන් රාජාංගනේ සද්ධාරතන හිමියන්ට, කීර්ති රත්නායක ඇතුළු පිරිසකට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කරන බවද ඔහු පැවසීය .

“මගේ කීර්ති නාමයට හානිවන ආකාරයෙන් කීර්ති රත්නායක නැමැති පුද්ගලයෙක් සහ රාජාංගනයේ හිමි කියාගන්නා ස්වාමීන් වහන්සේ නමක් ඇතුළු කිහිප දෙනෙකු විසින් මගේ රුව යොදාගෙන සමාජ මාධ්‍ය හරහා දැඩි ලෙස අපහාස සිදු කරමින් සිටිනවා. රට වෙනුවෙන් වසර විස්සක් ක්‍රීඩා කරලා තියනවා . රටට ගෞරවයක් අත්කර දුන් මට මේ ආකාරයෙන් අපහාස විඳින්න බැහැ. මගේ දියණිය මේ වන විට අවුරුදු 19 න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරනවා. මෙවැනි අසත්‍ය ප්‍රචාර නිසා මගේ දරුවන්ට මානසිකව දැඩි බලපෑමක් එල්ල වෙනවා.

මම සීයට සීයක් නිර්දෝෂී පුද්ගලයෙක්. ඒ නිසා තමයි අද දින මෙම පැමිණිල්ල මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත ඉදිරිපත් කළේ. මගේ නමට සිදු කළ දැවැන්ත හානිය සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට මගේ නීතිඥයන් සමඟ මේ වන විටත් සාකච්ඡා කරමින් පවතිනවා.” ඔහු පැවසීය .