පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 2023 සහ 2024 වර්ෂවලට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳව සොයා බැලීම සඳහා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත සමරවීරගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්විය .
මෙහිදී විශ්වවිද්‍යාලයේ මූල්‍ය අක්‍රමිකතා සහ අපජල කළමනාකරණ ගැටලු රැසක් පිළිබඳව තොරතුරු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හමුවේ අනාවරණය වූ බව පාර්ලිමේන්තුවේ මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර කිහිපයකින් බැහැර වන අපජලය නිසි පරිදි කළමනාකරණය නොවීම හේතුවෙන් පරිසරයට සිදුවන බලපෑම පිළිබඳව මෙහිදී මූලික වශයෙන් සාකච්ඡා කර තිබේ. එම අපජලය
මහනුවර නාගරික අපජල ව්‍යාපෘතියට එකතු කිරීමේ කටයුතු ප්‍රමාද වීම නිසා, මුල් ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් මිලියන 464 සිට රුපියල් බිලියන 1.4 දක්වා ඉහළ ගොස් ඇති බව එහිදී අනාවරණය වී ඇත .
පර්යේෂණ කළමනාකරණ කමිටුවේ අනුමැතියකින් තොරව සහ අදාළ පර්යේෂණ වාර්තා ලබාගැනීමකින් තොරව, අනධ්‍යයන හා විධායක කාර්ය මණ්ඩලයේ නිලධාරීන් 59 දෙනෙකුට පර්යේෂණ දීමනා ගෙවා ඇති බවද එහිදී අනාවරණය වී ඇත.
ඉන් නිලධාරීන් 28 දෙනෙකු 2023 ජුනි 30 වන විටත් අදාළ වාර්තා ඉදිරිපත් කර නොතිබුණි. පර්යේෂණ දීමනා කිසිදු විටෙක අමතර වැටුපක් ලෙස භාවිත කිරීම අනුමත කළ නොහැකි බව අවධාරණය කළ COPE කමිටුව, ඒවා නිසි ක්‍රමවේද යටතේම භාවිත කළ යුතු බව පෙන්වා දුන්නේය .