මරණ දඬුවම නියමවූ සිරකරුවන් සහ අධිකරණ අමාත්‍යවරයා අතර සාකච්චාවක්

මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වී සිටින සිරකරුවන් සඳහා ජනාධිපති පොදු සමාව ලබා දීම සම්බන්ධයෙන් විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමේ අරමුණින් පත් කළ කමිටුවේ වාර්තාව කඩිනමින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර පැවසීය .

කොළඹ රිමන්ඩ් බන්ධනාගාරය, නව මැගසින් බන්ධනාගාරය සහ වැලිකඩ යන බන්ධනාගාරවල නිරීක්ෂණයකදී මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන් සමඟ ඊයේ(20) පැවති සාකච්ඡාවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය .

ජනාධිපති පොදු සමාව ලබා දීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා වන මෙම කමිටුව විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජාගේ ප්‍රධානත්වයෙන් පත් කර ඇති බවද ඔහු එහිදී සඳහන් කළා. මෙම කමිටුව විසින් මාස දහයක පමණ කාලයක් තුළ සිදු කළ අධ්‍යනයකින් පසුව එම වාර්තාව සකස් කර ඇති බවද අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නා.

එසේම ජනාධිපති පොදු සමාව ලබා දීමේ ක්‍රමවේදය විධිමත් කිරීම හැරුණු විට මරණ දඬුවම හිමි සිරකරුවන්ට එම දඬුවම ජීවිතාන්තය දක්වා වන සිර දඬුවමක් දක්වා ලිහිල් කිරීම, ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විදින රැදවියන්හේ දඬුවම් කාලය වසර 20ක් දක්වා ලිහිල් කිරීම සහ රැඳවියන් නිවාස නිවාඩු යැවීම යන කරුණු සම්බන්ධයෙන්ද නිර්දේශ එම කමිටුව මගින් ලබා දී ඇති බවද අමාත්‍ය හර්ෂණ නානායක්කාර එහිදී වැඩිදුරටත් පැවසුවා.