දිවයින පුරා බන්ධනාගාර තුළ උදාවී ඇති නොසන්සුන්කාරී තත්ත්වයන් පාලනය කිරීම පිළිබඳව රජයේ අවධානය යොමුව ඇත . ඒ අනුව බන්ධනාගාර තුළ උද්ගතව ඇති නොසන්සුන් තත්ත්වය සහ ඊට ගතයුතු පියවර ගැන සාකච්චා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් විශේෂ රැස්වීමක් පසුගිය දා පවත්වා ඇත .
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල, අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර, ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සහ රාජ්‍ය බුද්ධි සේවයේ නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවති එම හමුවේදී පහත සඳහන් තීරණ වලට එළඹ ඇතිබව වාර්තා වේ .
බන්ධනාගාර තුළ ආරක්ෂාව පවත්වාගෙන යාමට නොහැකිවීමට දැඩිව බලපා ඇති ජේලර්වරුන්ගේ හිඟයට කඩිනම් විසඳුමක් ලෙස මෑතකදී විශ්‍රාම ගිය ත්‍රිවිධ හමුදා නිලධාරීන් 1,000 දෙනෙකු ජේලර්වරුන් ලෙස වහාම බඳවා ගෙන කෙටි පුහුණුවකින් පසු ඔවුන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සේවයට අනුයුක්ත කිරීම.
දිවයිනේ පිහිටි සියළුම බන්ධනාගාරයන්ගේ ආරක්ෂාව සැලසීමට පොලිස් විශේෂ කාර්ය බලකා (STF) ඒකක ස්ථාපිත කිරීම .
එක් බන්ධනාගාරයක සිදුවන නොසන්සුන්තාවයක් තවත් බන්ධනාගාරයකට පැතිරයෑම වැළැක්වීම සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව, පොලිසිය, ත්‍රිවිධ හමුදාව සහ බුද්ධි අංශ නියෝජිතයන්ගෙන් සමන්විත විශේෂ සංවිධායක කමිටු සෑම බන්ධනාගාරයකට පිහිටවීම .
අදාල සියළු බඳවාගැනීම් අධිකරණ අමාත්‍යාංශය මගින් සිදුකිරීමට නියමිතය .