වී වගාවට වඩා බඩ ඉරිඟු වවන එක ලාභ දායකයි

රජය විසින් නියම කර ඇති සහතික මිලට වී මිලදී ගැනීමට එකඟ වී, ඊට අදාල සහනදායී ණය පහසුකම් ලබාගෙන එම පොරොන්දුව කඩ කරන පෞද්ගලික මෝල් හිමියන් අසාදු ලේඛනගත කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත පවසයි . ගොවි සංගම් සමග සාකච්චාවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය .

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ වී අලෙවි මණ්ඩලයේ පවතින ගබඩා පහසුකම් සීමිත බැවින්, වී මිලදී ගැනීම සඳහා පෞද්ගලික අංශයට ‘ඔඩපන ණය’ ලබා දීමට රජය කටයුතු කර ඇති බවයි.

එලෙස රජයේ සහාය ලබාගන්නා මෝල් හිමියන් ගොවීන්ගෙන් වී මිලදී ගත යුත්තේ රජය ප්‍රකාශයට පත් කර ඇති සහතික මිලට බවත්, ඇතැම් පිරිස් එම මිලට වඩා අඩුවෙන් වී මිලදී ගන්නා බවට තොරතුරු වාර්තා වන බවත් ඔහු සඳහන් කළේය . එය වංචා සහගත ක්‍රියාවක් බවත්, එවැනි ක්‍රියා කරනා ව්‍යාපාරිකයන්ට ඉදිරියේදී රජය සමඟ ගනුදෙනු කිරීමට ඇති අවස්ථාව අහිමි කරන බවත් ඔහු සඳහන් කළේය .

ගොවියාට හිමි සාධාරණ ලාභය ලබා දීය යුතු බවත්, අතරමැදියන් තම ලාභය උපයා ගැනීමේදී ගොවියා හෝ පාරිභෝගිකයා සූරාකෑමට ඉඩ නොතබන බවත් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

“ගොවියා රජෙක්” යැයි පැවසුවද ඔවුන් තවමත් දිළිඳු මට්ටමේ පසුවීම පිළිබඳව අමාත්‍යවරයා සිය කනගාටුව පළ කළ අතර, එම තත්ත්වය වෙනස් කිරීම රජයේ අරමුණ බව ද සඳහන් කළේය.

එමෙන්ම, වී වගාවට සාපේක්ෂව බඩ ඉරිඟු වගාවෙන් අක්කරයකට ලැබෙන ආදායම වැඩි බවත්, මේ වන විට බඩ ඉරිඟු මෙරට දෙවන ප්‍රධාන බෝගය බවට පත්ව ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.