චීන ජාතිකයා ඝාතනය කිරීමේ සිද්ධියට සැකකරුවන් 8 දෙනෙක් හදුනාගනී.

සංචාරක සහ ව්‍යාපාරික වීසා මත ශ්‍රී ලංකාවට පැමිණි චීන ජාතිකයෙකු පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවන් අටදෙනෙකු හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්.යූ.වුට්ලර් පැවසීය .

මෙම විමර්ශන සඳහා චීන තනාපති කාර්යාලයේ සහ ජාත්‍යන්තර පොලිසියේ (Interpol) පූර්ණ සහයෝගය ලැබෙන අතර, මියගිය තැනැත්තාගේ මෘතදේහය තනාපති කාර්යාලය හරහා නැවත චීනය වෙත යැවීමට කටයුතු යොදා ඇති බවද ඔහු පැවසීය.

හඳුනාගත් සැකකරුවන් 8 දෙනා අතුරින් චීන ජාතිකයින් දෙදෙනෙකු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බවත්, ඔවුන් ලබන අගෝස්තු 06 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර, එදිනට පැවැත්වෙන හඳුනාගැනීමේ පෙරෙට්ටුවකටද ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

සිද්ධිය වූ සැනින්ම තවත් චීන ජාතික සැකකරුවන් තිදෙනෙකු මෙරටින් පළාගොස් ඇති බවත්, අත්අඩංගුවට ගැනීම මඟහරිමින් ශ්‍රී ලංකාවේ රැඳී සිටින අනෙක් සැකකරුවන් තිදෙනා සෙවීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක අතර, ඔවුන්ට එරෙහිව විදේශ ගමන් තහනමක්ද ලබාගෙන ඇති බවත් ඔහු සඳන් කළේය.

තම නිවාස, හෝටල් හෝ වාණිජ ගොඩනැගිලි කුලියට දීමේදී සැකකටයුතු විදේශිකයන් සිටී නම්, ඒ පිළිබඳව වහාම ළඟම ඇති පොලිස් ස්ථානය වෙත දැනුම් දෙන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි .

අද (31) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසීය.