සබන්වලට අළුත් ගැසට් එකක් .

මෙරට වෙළෙඳපොළේ අලෙවි කරනු ලබන සබන් නිෂ්පාදනවල නම සහ එහි අඩංගු සමස්ත මේද ප්‍රතිශතය ඇසුරුම් මත පැහැදිලිව සඳහන් කිරීම අනිවාර්ය කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත .

2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 10(1)(අ) වගන්තිය යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම නියෝගය පනවා ඇත .

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැඩබලන සභාපති එස්.එම්.ඩී. සූරියකුමාරගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම නියෝගය 2027 වර්ෂයේ ජූලි මස 09 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතයි.

පසුගිය කාලසීමාව තුළ විවිධ සන්නාමයන් යටතේ නව සබන් වර්ග රැසක් වෙළෙඳපොළට පැමිණ ඇති අතර, ඉන් ඇතැම් දේශීය මෙන්ම ආනයනික සබන් නිෂ්පාදනවල අන්තර්ගත අමුද්‍රව්‍ය හෝ මේද පදාර්ථ ප්‍රතිශතය පිළිබඳ කිසිදු සටහනක් නොමැති බවට පාරිභෝගිකයන්ගෙන් චෝදනා එල්ල වෙමින් ඇත .

මෙරට ප්‍රකට සබන් වර්ග මෙම තොරතුරු නිවැරදිව ප්‍රදර්ශනය කළද, සුළුපරිමානයෙන් නිපදවා නියාමනයකින් තොරව අලෙවි වන අනෙකුත් සබන් නිෂ්පාදන පාලනය කිරීම සඳහා මෙම නව රෙගුලාසි හඳුන්වා දීමේ බලාපොරොත්තුව බව පැවසේ .

ළදරු සබන් (Baby Soap), ඇඟ ගල්වන සබන් (Toilet Soap), ෂේවීන් සබන් (Shaving Soap), කාබොලික් සබන් (Carbolic Soap), රෙදි සෝදන සබන් (Laundry Soap), රෙදි සෝදන සබන් (Laundry Soap), මෘදු සබන් (Soft Soap) යන සබන් වර්ග සඳහා මෙම රෙගුලාසි අනිවාර්යයෙන්ම බලපැවැත්වෙයි .