ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් පහසුකම් පුළුල් කිරීමේ උත්සාහයක කොටසක් ලෙස, මෙරටට මගී ප්‍රවාහන ඩ්‍රෝන යානා හඳුන්වාදීම සඳහා වූ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය සැලසුම් කරමින් සිටිනා බව එහි අධ්‍යක්ෂ ජනරාල් දමින්ද රඹුක්වැල්ල පවසයි .
වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු පැවසූවේ මගී ඩ්‍රෝන යානා ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමේ ප්‍රායෝගික හැකියාව ඇගයීම සඳහා වන මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සිවිල් ගුවන් අධිකාරිය මේ වන විටත් පියවර ගෙන ඇති බවයි.
මේ වන විටත් චීනය, සිංගප්පූරුව සහ තායිලන්තය වැනි රටවල මෙවැනි මගී ඩ්‍රෝන සේවා ක්‍රියාත්මක වන අතර, මෙම තාක්ෂණය මෙරට පුළුල් ලෙස භාවිතයට ගැනීමට පෙර නියමු ව්‍යාපෘතිය හරහා එහි සාර්ථකත්වය ඇගයීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වේ.
මහාපරිමාණයෙන් මෙය ක්‍රියාත්මක කිරීමට ප්‍රථම, අදාළ සේවාවන් අවශ්‍ය ගුවන් සේවා ප්‍රමිතීන්ට අනුකූල වන බව තහවුරු කරගැනීම සඳහා මෙහෙයුම්, නියාමන සහ ආරක්ෂක අංශ ඇගයීමට ලක්කිරීම කෙරෙහි මෙම ව්‍යාපෘතියේදී විශේෂ අවධානයක් යොමුකෙරේ. ඩ්‍රෝන යාත්‍රාවකට මගීන් හය දෙනෙකු (06) දක්වා ප්‍රවාහනය කිරීමේ හැකියාව පවතී.