හමුදාපතිගේ කාලය දීර්ඝ කිරීම පිටුපස ආගමික නායකයෙක්

ජනාධිපතිවරයා විසින් වත්මන් හමුදාපතිවරයාගේ සේවා කාලය දිගින් දිගටම දීර්ඝ කිරීමට කටයුතු කිරීම හේතුවෙන් හමුදාවේ සිටින දක්ෂ, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසකට හමුදාපති ධුරයට පත්වීමට ඇති අවස්ථාව අහිමි වී යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පවසයි .

වැඩි දුරටත් කරුණු දක්වමින් ඔහු පැවසූවේ අදවනවිට ආරක්ෂක අංශවල පත්වීම් සහ තීන්දු තීරණ පිටුපස කිසියම් ආගමික බලපෑමක් පවතින බව තමන්ට පෙනෙනා බවය . අද වන විට හමුදාපති, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු සියල්ලම මෙහෙයවන්නේ කාදිනල් හිමිපාණන් විසින් බවද ඔහු පැවසීය . වත්මන් හමුදාපතිවරයාගෙන් පසුව ඊළඟට පැමිණෙන්නේ ‘ප්‍රනාන්දු’ කෙනෙක් බවට ඔහු ඉඟි කළේය .

වැඩිදුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මෙසේ පැවසීය .

“හමුදාපතිගේ කාලය ඉවරයි 07/02 වෙනිදා. කලින් දීර්ඝ කරා. දැන් ආයේ සැරයක් දීර්ඝ කරන්න ඉල්ලුවා.දැන් කවුද හමුදාපති පත්කරන්නේ. 02 වැනිදා හෙන ලොකු පලතුරු වට්ටියක් අරගෙන ගියා දැන් ඉන්න හමුදාපති. පලතුරු වට්ටිය හදපු මිනිහා තමයි මට කිව්වේ.

දැන් ඒ හමුදාපති 2027 ජනවාරි හරි පෙබරවාරි හරි වෙනකන් දීර්ඝ කරනවා. මේක දීර්ඝ කරාන ඊළඟට ඉන්නේ මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න. එයා ඉවරයි. මේජර් ජෙනරාල් උඩුගමත් නෑ. එයත් යනවා. මේජර් ජෙනරාල් නලින් බණ්ඩාරනායක ගෙදර යනවා. මේ කිසිම කෙනෙක්ට හමුදාපති ධුරය එක දවසක්වත් දරන්න වෙන්නේ නෑ. මේ අයත් මේ රට වෙනුවෙන් වැඩ කරපු මිනිස්සු. මේ කිසිම කෙනෙකුට හමුදාපති වෙන්න ආයේ ලැබෙන්නේ නෑ. හාමුදුරුවරු අහගන්න ඊළඟ හමුදාපති ප්‍රනාන්දු කෙනෙක්.”