යාපනය සහ පලාලි ප්‍රදේශවල ආරක්‍ෂක අංශ දැනට භාවිත කරනු ලබන රජයේ සහ පෞද්ගලික ඉඩම් සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන වැඩපිළිවෙළෙහි ප්‍රගතිය සමාලෝචනය කිරීමේ රැස්වීමක් පසුගියදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී (Parliament Complex) පැවැත්විණි.
ඉඩම් සම්බන්ධ ගැටලු පිළිබඳ මීට පෙර පවත්වන ලද සාකච්ඡාවල අඛණ්ඩ පියවරක් ලෙස පැවැත්වුණු මෙම රැස්වීම ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික), වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් සහ වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු යන මැති තුමන්ලාගේ ප්‍රධානත්වයෙන් පැවත්විණි.
මෙහිදී වත්මන් ප්‍රගතිය සමාලෝචනය කෙරුණු අතර, ඉඩම් අයිතිය පිළිබඳ ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා රජය දරන උත්සාහයන් කඩිනම් කිරීම, සමාජීය මෙන්ම ආර්ථිකමය වර්ධනයට සහාය වීම සහ කළාපීය පරිපාලන යාන්ත්‍රණයන් සමඟ සම්බන්ධීකරණයෙන් යටිතල පහසුකම් සංවර්ධනය විධිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කෙරිණි. මෙම මුලපිරීම් ජාතික සංහිඳියා ක්‍රියාවලියට (national reconciliation process) නැවත පදිංචි කිරීම් සඳහා වැදගත් පියවරක් ලෙස ද සැලකේ.
එමෙන්ම සාකච්ඡාව අතරතුර, සීමා නිර්ණයන් (boundary realignments) අවසන් කිරීම, වන්දි ගෙවීමේ ක්‍රියාවලීන් කඩිනම් කිරීම සහ හඳුනාගත් ඉඩම් කොටස් ඒවායේ නීත්‍යානුකූල අයිතිකරුවන්ට නැවත පැවරීම සඳහා ප්‍රමුඛතාවය ලබා දීම ඇතුළු ප්‍රධාන කරුණු කිහිපයක් කෙරෙහි විශේෂ අවධානය යොමු විය.