මෙට්‍රෝ බස් ධාවනය නීති විරෝධීයි .

“මෙට්‍රෝ” බස් රථ ධාවනය වන්නේ කිසිදු නීතිමය පදනමකින් තොරව අනීතික ලෙස බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි .

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, මෙම බස් රථවල මගීන්ට හිටගෙන ප්‍රවාහනය කිරීමට පවා අවසර දී ඇති අතර, එම බස් රථ සඳහා කිසිදු පොදු නීතියක් ක්‍රියාත්මක නොවන බවයි.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත (RTI) යටතේ තමන් ලබාගත් නිල දත්ත ඇසුරින් කරුණු දැක්වූ ඔහු කියා සිටියේ, මෙට්‍රෝ බස් සමාගම යනු වෙනම පෞද්ගලික සමාගමක් නොවනා බවයි .

අදාළ බස් රථ ධාවනයෙන් උපයන දෛනික ආදායම කොපමණදැයි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ලෙස බලධාරීන්ට අභියෝග කරන බව පැවසූ සභාපතිවරයා, මේ පිළිබඳව ඉදිරියේදී ලිඛිතව විමසීමක් කිරීමට තම සංගමය කටයුතු කරන බවද සඳහන් කළේය .

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ,

“ මෙට්‍රෝ බස් වගයක් ගෙනල්ලා නීති විරෝධීව ධාවනය කරනවා මෙට්‍රෝ බස්. එතකොට මෙට්‍රෝ බස්වලට නීතියක් නෑ. බස් එකේ හිටගෙන යනවා. එතකොට අපි අභියෝග කරනවා පුලුවන් නම් මේ අභියෝගය බාරගන්න. දිනකට බස් එකක ආදායම ප්‍රසිද්ධියෙ කියන්න. අපි ලිඛිත දැනුම්දීමක් කරනවා මේකෙන් කොච්චර දෙනික ආදායමක් තියෙනවද කියලා. මෙට්‍රෝ කියන්නේ වෙනත් එකක් නෙවෙයි. මේක මහා භාණ්ඩාගාරයේ 60%යි ලංගම 40%යි. බොරුවට මෙට්‍රො සමාගමක් කියලා හදලා, ලංගමම තමයි මේ ක්‍රියාත්මක කරන්නේ.”