බැසිල්ගේ වරෙන්තුව ගැන මාතර මහේස්ත්‍රාත්ගෙන් නියෝගයක්

මාතර, බ්‍රවුන්ස්හිල් ප්‍රදේශයේ පිහිටි අක්කර එකහමාරක ඉඩමක් මිලදී ගැනීමට අදාළව, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පවරා ඇත . අවස්ථා කිහිපයක්දීම එම නඩුවට පෙනී නොසිටීම නිසා මාතර මහේස්ත්‍රාත් මහේස්ත්‍රාත් චතුරංග දිසානායක වීසින් ඔහුට එරෙහිව වරෙන්තු නිකුත් කර ඇත . එම වරෙන්තුව යළි කැඳවන ලෙස බැසිල් රාජපක්ෂගේ නීතීඥයන් විසින් කළ ඉල්ලිම මාතර මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඊයේ (19) දිනයේදී බැසිල් රාජපක්ෂ වෙනුවෙන් අධිකරණයට කරුණු දැක්වූ ජනාධිපති නීතීඥ අනිල් ද සිල්වා වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් කියා සිටියේ, සිය සේවාදායකයා අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් විදෙස්ගතව ප්‍රතිකාර ලබන නිසා එදින අධිකරණයට පැමිණීමට නොහැකි වූ බවයි.

ඒ අනුව සැකකරුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ කරුණු සැලකිල්ලට ගනිමින්, ඔහුට නිකුත් කර ඇති වරෙන්තුව නැවත කැඳවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඔහුගේ නීතිඥවරුක් අද දින මෝසමක් ගොනු කරමින් අධිකරණයෙන් ඉල්ලා සිටිහ .

සැකකාර පාර්ශවය අධිකරණය හමුවට ඉදිරිපත් නොවී, ඒ ආකාරයෙන් වරෙන්තුව නැවත කැඳවීමට නීතිමය හැකියාවක් නොමැති බව ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා බැසිල් රාජපක්ෂට එරෙහිව නිකුත් කර ඇති වරෙන්තුව ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට ප්‍රධාන නියෝග කළේය .