කල්පිටිය සිදුවීම ගැන ගුවන් හමුදාවෙන් වෙනමම පරීක්ෂණයක් .

කල්පිටිය වෙරළ තීරයේදී ශ්‍රීලංකා ගුවන් හමුදාව සහ පොලිසිය අතර ඇතිවූ උණුසුම් තත්ත්වය පිළිබඳව වෙනමම පරීක්ෂණයක් සිදු කිරීමට ගුවන් හමුදාව තීරණය කර ඇති බව වාර්තා වේ .

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් කල්පිටිය වෙඩි පිටියේදී ඉකුත් 17 වැනිදා පැවැති බෝම්බ නිෂ්ක්‍රීය කිරීමේ අභ්‍යාසයක් අතරතුර මෙම සිදුවීම වාර්තා විය . එම අභ්‍යාසය ක්‍රියාත්මක වෙමින් තිබූ අතරතුර පූර්ව අවසරයකින් හෝ දැනුම්දීමකින් තොරව පුද්ගලයන් තිදෙනෙකු වෙඩි පිටියට අයත් ආරක්ෂිත සීමාවට ඇතුළු වී ඇති බව ශ්‍රි ලංකා ගුවන් හමුදාව නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි .

එහිදී රාජකාරියේ නිරතව සිටි ගුවන් හමුදා සාමාජිකයන් හත්දෙනෙකු සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ (STF) නිලධාරියෙකු විසින් එම සිවිල් පුද්ගලයන් තිදෙනාගෙන් ඔවුන්ගේ අන්‍යතාවය පිළිබඳ විමසීමක් කර ඇත. එහිදී පුද්ගලයෙකු පොලිස් නිලධාරියෙකු වන බවත් අනෙක් දෙදෙනා එම පොලිස් නිලධාරියා සමග පැමිණි සිවිල් පුද්ගලයන් බව තහවුරු කරගෙන ඇත.

කෙසේ නමුත් එම විමසීම් අතරතුර දෙපාර්ශවය අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

බෝම්බ නිෂ්ක්‍රීය කිරීමේ අභ්‍යාස කටයුතු සිදුවන කාලසීමාව තුළ අදාළ ප්‍රදේශය සාමාන්‍ය ජනතාවට ඇතුළු වීම තහනම් ආරක්ෂිත කළාපයක් ලෙස නම් කර ඇති අතර, එම අවස්ථාවලදී එම ප්‍රදේශයට ඇතුළු වන සියලු පුද්ගලයන්ගේ ආරක්ෂාව සහ වගකීම පිළිබඳ ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත පැවරී ඇත.

ඒ අනුව පුද්ගල ආරක්ෂාව තහවුරු කිරීම සහ අනතුරුදායක තත්ත්වයන් වළක්වා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් අවශ්‍ය ආරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය කර ඇත.

මෙම සිදුවීම පිළිබඳව විශේෂ පරීක්ෂණයක් පවත්වා වාර්තා කිරීම සඳහා ගුවන් හමුදාපතිවරයා විසින් විශේෂ පරීක්ෂණ මණ්ඩලයක් පත් කර ඇත.