හොරණ වැඩිහිටි නිවාසයට එරෙහිව පියවර ගන්නවා – සමාජ ආරක්ෂණ ඇමති කියයි .

වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ ලියාපදිංචියකින් තොරව වැඩිහිටියන් රඳවා ගෙන සිටි හොරණ බටගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය වැඩිහිටි නිවාසය සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය උපාලි පන්නිලගේ පැවසීය .

වැඩිහිටියන් පස් දෙනෙකු හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් රඳවාගෙන වැඩිහිටි නිවාසයක් පවත්වාගෙන යනවා නම් එම ආයතනය ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කළයුතු බවත්, නමුත් මෙම ආයතනයට එවැනි ලියාපදිංචියක් නොමැති බවත් එය පවත්වාගෙන ගියේ කුමන අරමුණකින් ද යන්න පිළිබඳව විමර්ශනය කරන බවත් අමාත්‍යවරයා පැවසීය .

ඔහු මේ බව පැවසූවේ මහනුවර සහස් උයනේදී ඊයේ (05) පැවැති සංවර්ධන නිලධාරී සේවා සංගමයේ දස වන ජාතික සැමරුම් උත්සවය සඳහා ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍ය වේදීන් අමතමිනි .

වයස අවුරුදු 60ට වැඩි වැඩිහිටියන් 08 දෙනෙකු සහ ආබාධ සහිත පුද්ගලයන් පනස් දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් මෙම ස්ථානයේ රඳවාගෙන සිටි බවත් කුමන අරමුණක් යටතේ මෙම රැඳුම් මධ්‍යස්ථානයේ පවත්වාගෙන ගියාද යන්න පිළිබඳ විමර්ශන කරන බවත්, අමාත්‍යවරයා සඳහන් කළේය.

මරණයට පත්වුවන් පිළිබඳව අධිකරණ විමර්ශන වාර්තා ලබා ගනිමින් පවතින බවත්, පූර්ණ අනුමැතියකින් තොරව පවත්වාගෙන ගිය මෙම ආයතනය පිළිබඳව පොලිසියේ මැදිහත්වීම මත පූර්ණ පරීක්ෂණයක් පවත්වන බවත් අවශ්‍ය ඉදිරි නීතිමය කටයුතු සිදු කෙරෙමින් පවතින බවත් අමාත්‍යවරයා කීවේය.

නීතියානුකූල නොවන ආකාරයෙන් පවත්වාගෙන යන මෙවැනි ආයතන පිළිබඳ විමර්ශනයක් සිදුවිය යුතු බවත් මුදලට හෝ යම් ආකාරයෙන් තමන්ගේ ඥාතියකු මෙවැනි ස්ථානයක රඳවන්නේ නම් එය ලියාපදිංචි ආයතනයක් ද යන්න පිළිබඳව වැඩිදුරටත් විමසිලිමත් වීම පුරවැසියන්ගේ වගකීමක් යයිද අමාත්‍යවරයා සඳහන් කළේය. තමන්ගේ දෙමාපියන් හෝ වෙනත් සමීප ඥාතියෙකු රැක බලා ගැනීම තමන්ට අපහසු කාර්යයක් නම් අධිකරණයේ නීති උපකාර මත රජයේ ලියාපදිංචි රැඳවුම් මධ්‍යස්ථානයක නේවාසිකව රැදවීමේ හැකියාව පවතින බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය .

නදීක දයා බණ්ඩාර – මහනුවර සිට .