යාපනය මහාධිකරණ විනිසුරු ඒ.ජී. ඇලෙක්ස්රාජා මැයි මස 31 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි බදුල්ල සිවිල් අභියාචනා මහාධිකරණයට හදිස්සියේ ස්ථාන මාරුකිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් යාපනය නීතිඥ සංගමය සිය දැඩි කනස්සල්ල පළකර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කරනා එම සංගමය පෙන්වාදෙන්නේ, විනිසුරු ඇලෙක්ස්රාජා පසුගිය අප්‍රේල් 22 වනදා යාපනය මහාධිකරණ විනිසුරු ලෙස පත්වීමෙන් මසක් වැනි කෙටි කාලයක් ඇතුළත සිදු වූ මෙම මාරුවීම පිටස්තර බලපෑමක් මත සිදුවූවක් ද යන්න පිළිබඳව සැක මතුවන බවයි.
යම් රිට් පෙත්සම් කිහිපයකට අදාළව, උතුරු පළාත් ආණ්ඩුකාරවරයාට එරෙහිව මෙම විනිසුරුවරයා විසින් අතුරු නියෝග නිකුත් කර තිබූ බව පෙන්වාදෙන නීතිඥ සංගමය, මේ හදිසි ස්ථාන මාරුවට හේතුව එකී තීන්දුදැයි සැක මත්වන බව පවසයි .
විනිසුරුවරුන් ස්ථාන මාරුකිරීමේ පූර්ණ බලය අධිකරණ සේවා කොමිෂන් සභාව සතු බව පිළිගන්නා අතරම, මෙවැනි පැහැදිලි කිරීමක් නොමැති ක්ෂණික ස්ථාන මාරුකිරීම් හේතුවෙන් අධිකරණය කෙරෙහි මහජනතාව තබා ඇති විශ්වාසය පළුදු වීමේ අවදානමක් පවතින බව යාපනය නීතිඥ සංගමය අනතුරු අඟවයි.