ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණය වූ සන්නාමයක් වන හේලීස් සමූහ ව්‍යාපාරය, 2026 මාර්තු 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය තුළ රුපියල් බිලියන 585.02ක වාර්තාගත ආදායමක් උපයා ගනිමින් සිය ඉතිහාසයේ ඉහළම මූල්‍ය කාර්ය සාධනය සනිටුහන් කර ඇත.
එය පෙර වසරට සාපේක්ෂව 19%ක (14%ක අපනයන වර්ධනයක් ද ඇතුළුව) කැපීපෙනෙන වර්ධනයකි.
මීට සමගාමීව සමූහයේ ඒකාබද්ධ බදු පෙර ලාභය 4% කින් ඉහළ ගොස් රුපියල් බිලියන 38.04 ක් ලෙස සටහන් කර ඇති අතර, බදු පසු ලාභය රුපියල් බිලියන 22.22ක් වේ.
‘ඩිට්වා’ සුළිකුණාටුවෙන් ඇති වූ බාධා මඟහරිමින් සිව්වන කාර්තුව තුළ ආර්ථිකය වේගයෙන් යථා තත්ත්වයට පත්වීම මෙම වර්ධනයට හේතුවී ඇත.
මීට අමතරව, හේලීස් සමූහය විසින් මෑතකදී සිදුකළ රුපියල් බිලියන 9 ක හිමිකම් නිකුතුව (Rights Issue) සාර්ථකව අවසන් කිරීම හේතුවෙන් එහි ප්‍රාග්ධන පදනම තවදුරටත් ශක්තිමත් වී තිබේ.
හේලීස් සමූහයේ සමස්ත සේවක සංඛ්‍යාව 38,700 ඉක්මවා ඇති අතර, මෑතකදී සීමාසහිත හේලීස් පී.එල්.සී. (Hayleys PLC) සමාගම මොබිලිටි (Mobility) සහ සුපිරි වෙළෙඳසැල් (Supermarket) ක්ෂේත්රයන් වෙතද සිය ආයෝජන ව්‍යාප්ත කිරීමට පියවර ගත්තේය.
හේලීස් පී.එල්.සී. අධ්යක්ෂ මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක ලෙස මෝහන් පණ්ඩිතගේ කටයුතු කරන අතර, ධම්මික පෙරේරා එහි සම-සභාපතිවරයා ලෙස කටයුතු කරයි.