ගල්ෆ් යුද්ධය නිම කිරීම සඳහා ඇමරිකානු යෝජනාවට ඉරානය ප්‍රතිචාර දක්වයි.

ගල්ෆ් යුද්ධය අවසන් කිරීම සඳහා වූ එක්සත් ජනපද යෝජනාවට ඉරානය සිය ප්‍රතිචාරය දක්වා ඇති බව අල් ජසීරා මාධ්‍ය ආයතනය පවසයි . ඉරානය සාම ක්‍රියාමාර්ගයේ මැදිහත්කරු පාකිස්තානය වෙත සිය යුඕජනා යවා අතිබවත්, ඒවා නොදුරේදීම ඇමරිකාව වෙත බාර දෙනු ඇතිබවත් ඉස්ලාමාබාද්හි අල් ජසීරා වාර්තාකරු කමල් හයිඩර් සඳහන් කරයි . මීට අමතරව ඉරාන රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වන IRNA ද මේ පුවත තහවුරු කර ඇත.

වොෂින්ටනය මෙම සතිය මුලදී ඉරානයට කරුණු 14 කින් යුත් යෝජනාවක් යවා ඇත. එහි කොන්දේසි යටතේ, ඉරානය න්‍යෂ්ටික අවියක් සංවර්ධනය නොකිරීමට සහ අවම වශයෙන් වසර 12 ක් සඳහා යුරේනියම් බලගැන්වීම නතර කිරීමට එකඟ විය යුතුය.

ඊට අමතරව 60% බලගන්වා ඇති බවට ඇස්තමේන්තුගත කර ඇති යුරේනියම් කිලෝග්‍රෑම් 440 (රාත්තල් 970) තොගයක් භාර දිය යුතු බව ඇමරිකානු යෝජනාවල දැක්වෙයි .

ඒ වෙනුවට, එක්සත් ජනපදය ඉරානයට එරෙහිව පනවා ඇති සම්බාධක ක්‍රමයෙන් ඉවත් කිරීමට එකඟව ඇත . තවද අත් හිටවා ඇති ඉරාන වත්කම්වලින් ඩොලර් බිලියන ගණනින් නිදහස් කිරීමට සහ ඉරාන වරායන් නාවික අවහිර කිරීම නතර කිරීමට ඇමරිකාව එකඟව ඇත .