හිටපු බලශක්ති ඇමති කුමාර ජයකොඩිට එරෙහි නඩුව 17 වනදා

2016 වසරේ ලංකා පොහොර සමාගනේ සිදුවූ දූෂණයක් සම්බන්ධයෙන් හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කර තිබෙන නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල හමුවේ අද කැඳවනු ලැබීය .

එහිදී පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අවසන් කළ මහාධිකරණ විනිසුරුවරයා නඩු විභාගය ජූනි මස 17 වැනිදා ආරම්භ කරන බවත්, එදිනට පැමිණිල්ලේ සාක්ෂිකරුවන් දෙදෙනෙකුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසත් විනිසුරුවරයා නියෝග කළේය .

2016 වසරේ ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන සහ ආනයන අංශයේ කළමනාකරු ලෙස හිටපු අමාත්‍ය කුමාර ජයකොඩි සේවය කළ අතර එම කාලයේදී ලංකා පොහොර සමාගමේ හුණුපිටිය ගබඩා සංකීර්ණයේ භූමිය මත කාපට් ඇතිරීම සඳහා සිදුකළ ප්‍රසම්පාදන ක්‍රියාවලියක දී පුද්ගලික සමාගමකට වාසියක් අත්වන ආකාරයෙන් කටයුතු හිරීම පිළිබඳව මෙම නඩුව පවරා ඇත .

එම ක්‍රියාවේදී රජයට රුපියල් 8,859,708ක පාඩුවක් සිදුකිරීම තුළින් “දූෂණය” නමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම මගින් හිටපු අමාත්‍යවරයාට එරෙහිව මෙම චෝදනා ඉදිරිපත් කර ඇත .