පුතුන් දෙදෙනාට ඇප , ජොනී දිගටම රිමාන්ඩ් .

සතොස ලොරි රථ සහ රියදුරන් සිය පෞද්ගලික ව්‍යාපාරයක එතනෝල් ප්‍රවාහනයට යොදවමින් රජයේ මුදල් හා දේපළ සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි බන්ධනාගාරගත සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා සහ තවත් සැකකරුවන් දෙදෙනෙකු ඇප මත මුදා හරින ලෙස මීගමුව මහාධිකරණ විනිසුරු කාවින්ද්‍යා නානායක්කාර අද නියෝග කළාය.

එහිදි මහාධිකරණ විනිසුරුවරිය හිටපු අමාත්‍ය ජොන්සන් ප්‍රනාන්දු වෙනුවෙන් කළ ඇප ඉල්ලිම ප්‍රතික්ෂේප කළාය.

ජොහාන් ප්‍රනාන්දු, හා ජෙරම් කෙනත් ප්‍රනාන්දු , හිටපු අමාත්‍යය ජෝන්ස්ටන් ප්‍රනාන්දු ,සතොස හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ මොහොමඩ් සකීර් හා සතොස ආයතනයේ හිටපු මෙහෙයුම් හා ප්‍රවාහන කලමනාකාර ඉන්දික රත්නමලල යන සැකකරුවන්ගේ ඇප ඉල්ලිම වත්තල මහෙස්ත්‍රාත්වරිය මීට පෙර අවස්ථාවක ප්‍රතික්ෂේප කළාය . ඒ අනුව එම සැකකරුවන් විසින් මීගමුව මහාධිකරණය හමුවේ ඇප අයැදුම්පතක් ගොනු කරන ලදි.

පවතින සුවිශේෂී කරුණු මත හිටපු ඇමතිවරයාගේ පුතුන් දෙදෙනාට ඇප ලබා දෙන්නැයි ඔවුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් කළ ඉල්ලීම අනුව ඇප නියෝගය ප්‍රකාශයට කෙරිණි.

ඒ අනුව සැකකාර ජොහාන් ප්‍රනාන්දු, හා ජෙරම් කෙනත් ප්‍රනාන්දු යන දෙදෙනා රුපියල් ලක්ෂ විසිපහක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ පහක ශරිර ඇප මත මුදා හරින ලෙසත් සැකකරුවන්ගේ විදෙස්ගමන් තහනම් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය . අනෙක් සැකකරුවන් දෙදෙනාද රුපියල් ලක්ෂ විසිපහක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ පහක ශරිර ඇප මත මුදා හරින ලෙසත් මීගමුව මහාධිකරණය නියෝග කළේය . එම සැකකරුවන්ගේ ද විදෙස් ගමන් තහනම් කර ගුවන් ගමන් බලපත්‍ර අධිකරණ භාරයේ තබන ලෙස විනිසුරුවරිය වැඩිදුරටත් නියෝග කළාය.