අමරකීර්ති අතුකෝරළ මැරූ මන්ත්‍රී මැරූ අරගලකරුවන් 12 දෙනෙක් පෝරකයට

පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා 2022 අරගල සමයේදී දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ දොළොස් දෙනෙකුට ගම්පහ මහාධිකරණය විසින් මරණ දඬුවම නියමකර තිබේ.

තවත් පුද්ගලයන් හතර දෙනෙකුට වසර පහකට අත්හිටුවන ලද මාස හයක සිර දඬුවම් නියම කර ඇත.

තවද, තවත් විත්තිකරුවන් 23 දෙනෙකු ගම්පහ මහාධිකරණය මගින් නිදොස් කොට නිදහස් කරන ලදී.

2022 මැයි 09 වැනිදා රට පුරා පැතිර ගිය ප්‍රචණ්ඩ ක්‍රියා අතරතුර, නිට්ටඹුව ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්තාව මධ්‍යයේ, පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු අමරකීර්ති අතුකොරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කරනා පොලිස් කොස්තාපල්වරයා අරගලකරුවන් විසින් පහර දී මරා දමනා ලදි .

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා රැගත් වාහනය විරෝධතාකරුවන් පිරිසක් සිය ග්‍රහණයට ගත් අවස්තාවේ තුවක්කුවක් අතැතිව සිටි ඔහුගේ ආරක්ෂක නිලධාරියා සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල එම ස්ථානයෙන් පලා ගොස් ඇත . ඒ බව අසල තිබූ CCTV කැමරාවකින් ලබාගත් දර්ශන මගින් තහවුරු වෙයි .

එම ස්ථානයෙන් පලාගිය මන්ත්‍රීවරයා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා පසුව අසල ගොඩනැගිල්ලක් තුළ සැඟවී සිටියදී සොයාගත් අරගල කරුවෝ පහරදී ඔවුන් ඝාතනය කර ඇත . ඒ සම්බන්ධයෙන් පුද්ගලයන් 42 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගම්පහ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කළේය.