හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කැල්ල පාලන කාලයේදී මෙරටට ගෙන්නන ලද Prednisolone eye drops භාවිතා කිරීම නිසා දිවියන පුරා රෝගීන් එකසිය පනහකට ආසන්න ප්‍රමාණයකට සදාකාලික හා තාවකාලික ආබාධිත තත්ත්වයට පත් වූ බව එවකට ප්‍රකාශ විය. එලෙස ආබාධිත තත්ත්වයට පත්වූ රෝගීන් තමන්ට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් වගකිවයුතු පාර්ශවයන්ට පැමිණිලි කරනා ලද අතර ඊට එරෙහිව උද්ඝෝෂණ පවා සිදුකරනා ලදි .
එවන් පසුබිමක Prednisolone eye drops භාවිතයෙන් පසු අක්ෂි ආබාධයකට ලක්වූ ගම්පහ පදිංචි ලෙනින් නිරෝෂන් නැමැති අයවෙත ලිපියක් යොමුකරනා සෞඛ්‍ය අමාත්‍යාංශය අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව් වික්‍රමසිංහ පවසනුයේ ඔහුගේ අක්ෂි ආබාධයට එම ඖෂධය හේතු වී නැති බවය .
මේ සම්බන්ධව සිදු කරන ලද විමර්ශනවලින් අනතුරුව 13/11/2025 දිනැතිව යවා ඇති එම ලිපිය පිළිබඳව එම රෝගියා හා ඔහුගේ ඥාතීන් දැඩි ලෙස විමතියට පත්ව ඇත . කොළඹ ජාතික අක්ෂි රෝහලේදී අදාළ ඖෂධය භාවිතා කිරීමෙන් අනතුරුව තම ඥාතියාගේ ඇස් දෙකම ආබාධ තත්ත්වයට පත් වූ බවට වෛද්‍ය වාර්තා ඇති බවත්, ඉන් අනතුරුව ඔහු සිය පුද්ගලික වියදමින් ඉන්දියාවට ගොස් වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටිනා අතර මෙවැනි ලිපියක් නිකුත් වීම සම්බන්ධයෙන් කනගාටුවට පත්වන බවද ඥාතීහු පවසති.
වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසනුයේ මෙම අක්ෂි දියරය ගෙනෙන ලද සමාගමට එරෙහිව මේ දක්වා අධිකරණය හමුවේ නිත්‍යානුකූලව පියවර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සමත් වී නැති බවය . මෙම සමාගමට එරෙහිව අධිකරණය කටයුතු ක්‍රියාත්මක කිරීමට වර්තමාන සෞඛ්‍ය අමාත්‍යාංශය දක්වන මැලිකම ප්‍රශ්න සහගත බවද සඳහන් කළේය.
