මීටියාගොඩ වෙඩි තැබීමෙන් කාන්තාවක් මරුට

මීටියාගොඩ, කිරලගහවෙල හන්දියේ පිහිටි අවන්හලක් අසල සිදුවු වෙඩිතැබීමෙන් තුවාල ලැබු එම අවන්හලේ අයකැමි ලෙස කටයුතු කළ කාන්තාව ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද (17) රාත්‍රි 8.30ට පමණ සිදුවු මෙම වෙඩිතැබීමෙන් ඇය බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබුණි.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 48 හැවිරිදි මීටියාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි.

යතුරුපැදියකින් පැමිණි දෙන්නෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර, වෙඩි තැබීමට පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් භාවිත කර ඇතැයි පොලීසිය සැක පළ කරයි

කරන්දෙණිය සුද්දාගේ මස්සිනා වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්වු අතර, එම සිදුවීමට පළිගැනීමක් ලෙස මෙම වෙඩිතැබීම සිදුකර ඇතැයි ද සඳහන්ය. සිද්ධිය සම්බන්ධයෙන් මීටියාගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

වසරේ මේ දක්වා සිදුව ඇති වෙඩි තැබීම් ගණන 106 දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් පුද්ගලයන් 54 දෙනෙකු මියගොස් 53 දෙනෙකු තුවාල ලබා තිබේ.