පාසැල් පෙලපොත් සල්ලි ගෙවා මිලට ගැනීමට වෙයි .

පාසල් පෙළපොත් නොමිලේ ලබා දීම රජය විසින් ක්‍රමානුකූලව අත්හිටුවීමට නව ඉගෙනුම් ක්‍රමයක් හඳුන්වා දී ඇති බව ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ සභාපති වාස් ගුණවර්ධන ප්‍රකාශ කරයි.

ඔහු පෙන්වා දෙන්නේ, 2026 වසරේදී පළමු වසරේ පළමු වාරය සඳහා සිංහල විෂය මාලා මොඩියුලය තුළ පමණක් QR කේත 42ක් ඇතුළත් කර ඇති බවයි. මේ හේතුවෙන් දරුවන්ට අවශ්‍ය පාඩම් කොටස් මුද්‍රණය කරගැනීමේ විශාල බරක් දෙමාපියන්ට පැටවෙනු ඇතිබව ඔහු අවධාරණය කරයි. මෙම නව ක්‍රමවේදය දෙමාපියන්ට දැඩි අපහසුතාවක් මෙන්ම අමතර වියදමක්ද ඇතිකරනු ඇති බව ඔහු පවසයි .

තවදුරටත් අදහස් දක්වන ඔහු අනතුරු අඟවන්නේ, මෙම තත්ත්වය අවබෝධ කර ගන්නා පෞද්ගලික අංශය ඉක්මනින්ම එම මොඩියුලයන්ට අදාළ පෙළපොත් මුද්‍රණය කොට වෙළෙඳපොළට ඉදිරිපත් කරනු ඇති බවයි.

එහි ප්‍රතිඵලයක් ලෙස, වසර ගණනාවක් තිස්සේ නොමිලේ ලැබුණු පාසල් පෙළපොත් සඳහා දෙමාපියන්ට මුදල් ගෙවීමට සිදුවන අවදානමක් පවතින බව ද ඔහු පෙන්වා දෙයි. මෙම නව අධ්‍යාපන ප්‍රතිපත්තිය පරාජය කිරීම සඳහා රටේ අනෙකුත් බහුජන සංවිධාන සමඟ එක්ව මැදිහත් වන බව ඔහු වැඩි දුරටත් පැවසීය .