මහින්දගේ වෙඩි නොවදින රිය නැවත දෙන්නට ආණ්ඩුව සූදානම්

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත අහෝසි කළ ද, ඒ යටතට ඔවුන්ගේ ආරක්ෂාව සඳහා සපයා තිබූ ප්‍රතිපදන අහෝසි නොවනා බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පැවසීය.

ඇතැම් හිටපු ජනාධිපතිවරුන් ඔවුන්ගේ ආරක්ෂාව සඳහා භාවිතා කළ වාහන ද මේ වනවිට භාර දී ඇති අතර හිමිකම් අහෝසි කිරීමේ පනතට එය අදාළ නොවන බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම රජයේ වගකීමක් වන බැවින් ආරක්ෂාවට අදාළ වාහන ඇතුළු අනෙකුත් දේ සම්බන්ධයෙන් යම් ඉල්ලීමක් සිදුකරන්නේ නම් ඒ වෙනුවෙන් කටයුතු කිරීමට සුදානම් බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අහෝසිකිරීමේ පනත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්වූ අවස්ථාවේ නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවසා සිටියේ එම පනත මගින් විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සහ විශ්‍රාම වැටුප් අහෝසි නොවනා බවය.

අද (07) පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.