ඥාතී සහෝදරයා නිසා වයස අවුරුදු 13ක දැරියක් ගැබිනියක් වෙයි

මිත්තණිය භාරයේ හැදීවැඩුණු 13 වන වියේ පසුවන දැරියක් සිය මාමාගේ පුත්‍රයා විසින් ගැබිණියක් බවට පත් කළ පුවතක් අඟුරුවාතොට, වෙනිවැල්පිටිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

දෙමාපියන් නොමැතිව සිය මිත්තණිය සමීපයේ හැදී වැඩුණු එම දැරිය සිය මාමාගේ පුතු අතින් අපයෝජනයට ලක්වී ඇති අතර මේ වන විට ඇය මාස එකහමාරක ගැබිණියක් බවයි අඟුරුවාතොට පොලීසිය පවසන්නේ.

එම දැරිය ජීවත් වූ නිවෙසේම ඇයගේ මාමාගේ 18වන වියේ පසුවන පුත්‍රයා විසින් කිහිපවරක්ම මෙම දැරියව අපයෝජනයට ලක් කර ඇති බව පොලිස් විමර්ශනවලදී මේ වන විට හෙළිදරව් වී තිබෙනවා.

අඟුරුවාතොට පොලීසිය විසින් දැරිවියගේ අනාරක්ෂිතභාවය පිළිබඳ ඇයගේ මිත්තණියව කිහිපවරක් දැනුවත් කර තිබුණත් මිත්තණියගේ නොසැලකිලිමත්භාවය හේතුවෙන් දැරියට මෙම ඉරණමට මුහුණපාන්නට සිදුව ඇති බව සඳහන් වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අදාළ තරුණයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අද (31) හොරණ මහෙස්ත්‍රාත්‍ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

දැරිය අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීම සඳහා හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අඟුරුවාතොට පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනවා.