සුරතලාගේ වෙසින් ආ මරුවා කතකගේ ජීවිතය උදුරාගනී – ලන්ඩනයෙන් ඇහෙන ඛේදනීය කතාව මෙන්න (Photos)

නිවසේ සුරතලේට ඇති කරන සත්ත්වයන් වුව ද නොසිතූ මොහොතක අපගේ මරණය පවා ළගා කරනවා. එවැනි පුවතක් නැගෙනහිර ලන්ඩන‍යෙන් වාර්තා වුණා.

නිවසේ සුරතලේට ඇති කළ XL Bully බල්ලන් දෙදෙනෙකු විසින් එම නිවසේ සිටි කාන්තාවක් දරුණු ලෙස සපා කා මරා දැමීමේ ඛේදනීය පුවතක් පිළිබඳ විදෙස් මාධ්‍යයේ සඳහන් වුණා.

මෙලෙස XL Bully බල්ලන් දෙදෙනෙකුගේ සපා කෑමෙන් අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 50ක් පමණ වන මෙම කාන්තාවක්.

ඊයේ (20) දහවල් මෙම මරණය සිදු වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

බල්ලන් විසින් කාන්තාවක් සපා කන බවට වාර්තා වූ වහාම ආරක්ෂක අංශ එම ස්ථානයට ගොස් තිබෙනවා.

නමුත් නිවස තුළ සිටින කාන්තාවට ප්‍රතිකාර ලබා දීමට සහ අවශ්‍ය විමර්ශන කටයුතු සිදුකිරීම සඳහා එම නිවසේ සිටින XL Bully බල්ලන්ගෙන් ආරක්ෂා වීමට ආරක්ෂක අංශයන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුව තිබෙනවා.

ඒ සඳහා කැරලි පලිහ සහිත සන්නද්ධ පොලිසිය කැඳවා ඇති අතර, එම සුනඛයන් දෙදෙනා ආරක්ෂක අංශ විසින් නිවසින් ඉවතට ගෙන ගොස් තිබෙනවා. අනතුරුව ඇයට නිවසේදීම වහාම වෛද්‍ය ප්‍රතිකාර සිදුකර තිබෙනවා.

නමුත් බල්ලන්ගේ මාරාන්තික සපාකෑමට ලක්ව අසාධ්‍ය තත්ත්වයේ සිටි එම කාන්තාව නිවසේ දී ම මියගිය බවයි වාර්තා වෙන්නේ.

විදෙස් මාධ්‍යයට අදහස් දක්වමින් මියගිය කාන්තාවගේ අසල්වැසියන් පවසා ඇත්තේ පොලිසිය විසින් අදාළ කාන්තාවගේ මරණයට සම්බන්ධ සුනඛයන් එම අවස්ථාවේ දී මරා දමා නොමැති බවත්, ආරක්ෂක අංශ ඔවුන් රැගෙන ගිය බවත්ය.