උමා ඔය ගැන සිහිකර ඉරාන ජනපති වෙනුවෙන් අනුර තැබූ සටහන

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්වුණු ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා වෙනුවෙන් ශෝකය පළකරමින් අද (21) නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ සඳහන් වන්නේ මාරාන්තික හෙලිකොප්ටර් අනතුරින් ඛේදජනක ලෙස දිවි අහිමි වූ ගරු ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි, විදේශ අමාත්‍ය හොසෙයින් අමීර් අබ්දුල්ලාහියන් සහ අනෙකුත් රාජ්‍යතාන්ත්‍රිකයින්ගේ හදිසි වියෝවීම් පිළිබඳව ජාතික ජන බලවේගය ලෙසත් ශ්‍රී ලාංකේය ජනතාව ලෙසත් ඔවුන් සාතිශය ශෝකය පළ කර සිටින බවයි.

එසේම මේ දුෂ්කර මොහොතේ මියගිය සියලු දෙනාගේ ඥාතීන් සහ හිතමිතුරන් සමග ශෝකය බෙදාගැනීමට කැමති බවත් එම නිවේදනයේ සඳහන් වනවා.

ඊබ්‍රහිම් රයිසි ජනාධිපතිවරයාගේ වියෝව ඉරාන ජනතාවට සහ මැදපෙරදිග ජනතාවට පමණක් නොව ගෝලීය ප්‍රජාවටම පිරිමැසිය නොහැකි පාඩුවක් බවත් ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල් සමග රයිසි ජනාධිපතිවරයා, මිත්‍රශීලී සහ ආධිපත්‍යමය නොවන සබඳතාවන් ශක්තිමත් කර ගැනීමට වෙහෙස නොබලා කටයුතු කළ බවත් එහි දැක්වෙනවා.

ඉරාන ජනතාවගේ අරමුදල්වලින් ඉදිකරන ලද ජලවිදුලි බලාගාරය විවෘත කිරීම සඳහා වූ ඔහුගේ මෑත කාලීන ශ්‍රී ලංකා සංචාරය ජාත්‍යන්තර සහයෝගීතාව සහ තිරසාර සංවර්ධනය වෙනුවෙන් ඔහුගේ නොවෙනස් කැපවීම පිළිබඳ සාක්ෂියක් බව අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරනවා.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ

”එසේම ඒ හා සමාන ව්‍යාපෘතියක් විවෘත කිරීම සඳහා අසර්බයිජානය වෙත ගිය ඔහුගේ අවසන් සංචාරයද කලාපීය සහයෝගීතාව සහ අනෝන්‍ය සෞභාග්‍යය වෙනුවෙන් වූ ඔහුගේ දැඩි කැපවීම අවධාරණය කරයි.

සහයෝගීතාව, සංවර්ධනය සහ මිත්‍රශීලී සබඳතා දිරි ගැන්වීම පිළිබඳ ඔහුගේ ආදර්ශය, ඉරානය තුළත් පොදුවේ මැදපෙරදිග පුරාමත් අඛණ්ඩ සංවර්ධනය සහ ස්ථීරසාරභාවය සහතික කරමින් ඔහුගේ අරමුණ ඉදිරියට ගෙන යනු වස් ඉරාන ජනතාව නිසැක ලෙසම ප්‍රබෝධමත් කරනු ඇති බවට ජාතික ජන බලවේගය ලෙස අපට විශ්වාසය.මෙම ඛේදජනක අවස්ථාවේ ඉරාන ජනතාවට අපි අපේ දැඩි සහයෝගීතාව පළ කර සිටිමු.” යනුවෙනි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!