42 වැනි ජාතික මිලාද් උන් නබී මහෝත්සවය ජනපතිගේ ප්‍රධානත්ත්වයෙන් .

ඉස්ලාම් ධර්මයේ, ප්‍රාරම්භකයා සහ අවසන් ධර්මදූතයා ලෙස සැලකෙන ගෞරවනීය මහම්මද් නබිනායකතුමන්ගේ ජන්ම දිනය සමරන 42 වන මිලාද් උන් නබි මහෝත්සවය ඊයේ (26) වැනිදා සවස මීගමුව, පෙරියමුල්ල, අල් හිලාල් විද්‍යාල පරිශ්‍රයේදී ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්ත්වයෙන් පවත්වනු ලැබීය .

සහජීවනය, සහෝදරත්වය සහ එකමුතුකම යන උදාර තේමාව පෙරදැරි කරගනිමින් මෙවර මෙම ජාතික මහෝත්සවය පවත්වනු ලැබූ මෙම උත්සවයට සියලු ආගම් නියෝජනය කරමින් ගරු ස්වාමීන් වහන්සේලා සහ ගරු පූජකතුමන්ලා පරිසක්ද සහභාගී වූහ.

ඊට අමතරව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆ්ෆර්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසිංහ, කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, නියෝජ්‍ය කතානායක වෛද්‍ය මොහොමඩ් රිස්වි සාලී , බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යුසූෆ් සහ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික හෙට්ටිආරච්චි ඇතුළු පිරිසක් ද විශේෂ ආරාධිතයන් ලෙස මෙම මහෝත්සවයට සහභාගී වූහ.

මිලාද් උන් නබී උත්සවය ජාතික මහෝත්සවයක් ලෙස පැවැත්වීමේ සංකල්පය දශක 04 කට පමණ පෙර, එනම් වසර 42කට පමණ පෙර එක්සත් ජාතික පක්ෂයේ ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිවරයාගේ පාලන සමයේදී ආරම්භ විය. ගම්පහ දිස්ත්‍රික්කයේ අවසන් වරට ජාතික මට්ටමෙන් රාජ්‍ය අනුග්‍රහය සහිතව මිලාද් උන් නබී මහෝත්සවයක් පැවැත්වුණේ 1998 වසරේ මල්වානේදීය .

ඒ අනුව මීගමුවේ පැවත්වෙන මෙම 42 වැනි මිලාද් උන් ජාතික මහෝත්සවය වෙනුවෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් නව මුද්දරයක් සහ මුල්දින කවරයක් නිකුත් කළ අතර, තැපැල්පති ( පෝස්ට් මාස්ටර් ජෙනරාල් ) ප්‍රේමචන්ද්‍ර හේරත් මහතා විසින් එය ජනාධිපතිතුමන් වෙත පිළිගන්වන ලදී.

ගම්පහ දිස්ත්‍රික්කයේ මුස්ලිම් දේවස්ථානවල සහ අරාබි භාෂා පාසල්වල වසර 25 කට වැඩි කාලයක් සේවය කළ 20 දෙනෙකුගෙන් සමන්විත ගෞරවනීය මවුලවිතුමන්ලා, උස්තාද්වරුන් සහ මුඅද්දීන්වරුන් පිරිසකට ඔවුන් සිදු කළ ආගමික හා සමාජීය සේවය අගය කරමින් ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් උපහාර පුද කිරීම ද මෙහිදී සිදුවිය. එමෙන්ම, ගම්පහ දිස්ත්‍රික්කයේ මුස්ලිම්වරුන්ගේ පුරාණ ඉතිහාසය, සම්ප්‍රදායන්, සංස්කෘතික කටයුතු මෙන්ම එම ජනතාවගේ සමාජීය ජීවන තත්ත්වයන් පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් විශේෂ ග්‍රන්ථයක් සහ මෙම ජාතික මහෝත්සවය වෙනුවෙන් මුද්‍රණය කරන ලද සමරු සඟරා කළාපයක්ද මෙහිදි එළිදක්වන ලදි .

42 වැනි මිලාද් උන් නබී ජාතික මහෝත්සවය පුරාවට ගරු නබිනායක තුමන්ගේ කරුණාව, දයාව වැනි යහගුණ වෙනුවෙන් ගයන ප්‍රශස්ති ගී (කසිදා, මව්ලුද්) නිර්මාණ සහ පද්‍ය නිර්මාණ කිහිපයක්ම දරු දැරියන් විසින් ඉදිරිපත් කරන ලදී. මීගමුව පුරවරයේ ප්‍රකට මුස්ලිම් පාසල් වන අල් හිලාල් සහ අල් ෆලාල් විද්‍යාලවල දැරියන් පිරිසක් විසින් මෙම ජාතික මහෝත්සවය ආරම්භයේදීම මෙරට ජාතික ගීය සිංහල භාෂාවෙන්සු ගායනා කිරීම විශේෂී අවස්ථාවක් විය.

චායාරූප ; ජනාධිපති මාධ්‍ය අංශයෙනි ,