2022 අර්බුදය අවස්ථාවට වඩා වේගයෙන් ආර්ථිකය කඩා වැටෙනවා.

2022 රටේ ආර්ථිකය දරුණු ලෙස කඩාවැටුණු අවස්ථාවටත් වඩා වේගයෙන් මේ වනවිට රුපියල අවප්‍රමාණය වෙමින් ඇති බව සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පැවසීය .

අද (15) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මීට හේතුවී ඇත්තේ වත්මන් රජය සිය ආනයන අපනයන පිළිබඳ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක තමන්ගේ දර්ශනයකට අනුව නොව පිටින් ලැබුණු උපදෙස් අනුව ක්‍රියාත්මක කිරීම ඊට හේතුව බවය.

එඇඩි දුරටත් අදහස් දක්වමින් ඔහු මෙලෙස පැවසීය.

“ඩොලරය ඉහළ යෑමට නියමිත බව අපි කලින් කිව්වා. මේකට ප්‍රධාන හේතුව තමයි අපේ ආනයන අපනයන ප්‍රතිපත්තිය තර්කානුකූල තැනක නොතිබීම. ආණ්ඩුව කටයුතු කළේ පිටින් ලැබුණු උපදෙස් අනුව. වාහන ගෙන්නුවේ ඩොලර්වලින්, බදු ගත්තේ රුපියල්වලින්. රුපියල් හොයා ගත්තා ඩොලර් ගියා.”

“අද ඩොලරය, රුපියලට සාපේක්ෂව ඉහළ අගයක් ගන්නවා. දැනටමත් විශාල ආර්ථික අර්බුදයක් නිර්මාණය වෙලා. කර්මාන්තශාලා දැඩි අර්බුදයක. මේ තරම් වේගයෙන් රුපියල කඩාවැටෙනවා දැකලා නැහැ. ආර්ථික අර්බුදයේ දරුණුම අවස්ථාවේදිවත් මේ තරම් වේගයෙන් රුපියල කඩාවැටුණේ නැහැ. වහාම තීන්දු තීරණ වෙනස් නොකළොත් කාලය ලබාගැනීමේ අවස්ථාව හිමිවන්නේ නැහැ. ආර්ථිකය සංකෝචනය වීම නුදුරේදීම ජනතාවට බලපානවා. එතකොට මිනිස්සු ප්‍රතිචාර දක්වන්නේ සියලු සිවිල් පද්ධතීන් බිඳවැටෙන ආකාරයට.”