සුරාබදු දෙපාර්තමේන්තුවේ තීරණයක් නිසා මත්පැන් නිෂ්පාදනය නතර කිරීමේ අවධානමක් .

මත්පැන් නිෂ්පාදනය කිරීමේදී සහ ගබඩා කිරීමේදී සිදුවන මධ්‍යසාර අපතේ යාම් ප්‍රතිශතය 1.5% සිට 0.1% දක්වා අඩු කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව ගත් තීරණයට මෙරට මත්පැන් නිෂ්පාදකයෝ සිය දැඩි විරෝධය පළ කර සිටිති .

සුරාබදු දෙපාර්තමේන්තුවේ මෙම හදිසි තීරණය හේතුවෙන් දැනටමත් රුපියල් බිලියන 23 ක දැවැන්ත බදු ආදායමක් රජයට ලබාදෙන ප්‍රමුඛ පෙළේ මත්පැන් නිෂ්පාදන සමාගම්වලට යළිත් වරක් අමතර බදු ගෙවීමට සිදුවන බව ඔවුහු පවසති .

මේ හේතුවෙන් ඉදිරියට තම නිෂ්පාදන කටයුතු පවත්වාගෙන යාම පවා දැඩි අර්බුදයකට ලක්විය හැකිබව ඕවුහු පවසති. ඒ බව සඳහන් කරමින් අදාළ සමාගම් විසින් සුරාබදු දෙපාර්තමේන්තුව වෙත තම විරෝධය ලිඛිතව දැනුම් දී ඇත .

මත්පැන් නිෂ්පාදන හා ගබඩා ක්‍රියාවලියේදී මධ්‍යසාර වාෂ්ප වී යාම ස්භාවිකවම සිදු වන්නක් බව පෙන්වා දෙන නිෂ්පාදකයෝ බෝතල් කිරීමේ යන්ත්‍ර වෙත ස්ප්‍රීතු යොමු කිරීමේදී සහ නූතන යන්ත්‍රෝපකරණ මඟින් බෝතල් කිරීමේදී සැලකිය යුතු මධ්‍යසාර ප්‍රමාණයක් වාෂ්පීකරණය වන බව පවසති . රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීම සඳහා සුරාබදු නිලධාරීන් භාරයට ගන්නා මත්පැන් තොග පවා ගණනය කරනු ලබන්නේ මෙම අපතේයන ප්‍රතිශතය යටතේ වීම .

මීට පෙර ක්‍රියාත්මක වූ අංක 151 දරන නිවේදනය මඟින් අනුමත කර තිබූ අපතේයන ප්‍රතිශතය මෙලෙස අත්තනෝමතික ලෙස පහත දැමීම සාධාරණ නොවන බවත්, මෙසේ ප්‍රතිශතයන් වෙනස් කිරීමට ප්‍රථම මධ්‍යසාර අපතේ යන ආකාරය, ඊට බලපාන කරුණු සහ විද්‍යාත්මක සාධක පිළිබඳව ප්‍රායෝගික හා නිවැරදි විද්‍යාත්මක පරීක්ෂණයක් සිදු කිරීම අත්‍යවශ්‍ය බවත් මත්පැන් නිෂ්පාදකයෝ වැඩිදුරටත් අවධාරණය කරනවා.