දෙහිවල සත්වෝද්යානයේ සිටින සීබ්රා සත්වයෙකුගේ ආහාර ජීරණ පද්ධතියේ ඇති වූ අවහිරවීමක් ඉවත් කිරීම සඳහා සිදු කරන ලද හදිසි ශල්යකර්මයකින් පසුව එම සත්වයා පූර්ණ සුවය ලබා ඇති බව ජාතික සත්වෝද්යාන දෙපාර්තමේන්තුව පවසයි.
පසුගිය සැප්තැම්බර් 29 වන දින මෙම සත්වයා රෝගී වූ අතර මූලික වෛද්ය පරීක්ෂණ කිහිපයකින් අනතුරුව රෝගී තත්ත්වය විනිස්ච්ය කර ඔක්තෝබර් 9 වන දින මෙම ශල්යකර්මය සිදු කළ බව එම දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පවසයි .
පේරාදෙණිය විශ්වවිද්යාලයේ පශු වෛද්ය පීඨයේ ජ්යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්ය ධම්මික පෙරේරාගේ මගපෙන්වීම යටතේ ජාතික සත්වෝද්යාන දෙපාර්තමේන්තුවේ පශු වෛද්ය නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය විසින් මෙම ශල්යකර්මය සිදු කර ඇත.
ශල්යකර්මයෙන් පසු මෙම සීබ්රා දින කිහිපයක් පශු වෛද්යවරුන්ගේ දැඩි අධීක්ෂණය යටතේ සිටි අතර දැනට එම සත්වයා යහපත් සෞඛ්ය තත්ත්වයෙන් පසුවන බවත්, සාමාන්ය පරිදි ආහාර ගැනීම ද ආරම්භ කර ඇති බවත් වාර්තා වේ.