ඥානසාර හිමිට නිදහස ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලය අසල තවමත් විරෝධතා.

ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව නිදහස් කරන ලෙස ඉල්ලා නුවර සිට පැමිණි පාගමන අවසානයේ ගාළු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ආරම්භ කළ විරෝධතාව තව දුරටත් පැවැත්වේ. ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් සමඟ ඊයේ පැවැති සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වීමත් සමඟ අද දිනයේදීත් එම විරෝධතාවය පැවැත්වෙමින් තිබේ.

විරෝධතාවයේ නිරත භික්ෂු නියෝජිතයන් ජනාධිපති ලේකම්වරයා සමඟ සාකච්ඡා පවත්වා ඇති අතර, ඉල්ලීම් පිළිබඳව සලකා බැලීමට රජයට තවත් කාලය අවශ්‍ය බව එහිදී දැනුම් දී ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත්, තීරණයක් ගැනීම සඳහා නිශ්චිත කාල රාමුවක් සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට නොහැකි වීම නිසා සාකච්ඡා අවසන් වූ අතර, එයින් පසු විරෝධතාකරුවෝ සිය උද්ඝෝෂණය තවදුරටත් ඉදිරියට ගෙනයෑමට තීරණය කළහ.

මේ අතරතුර, විරෝධතාකරුවන් ගාලු පාරේ තාවකාලික කූඩාරමක් ඉදිකිරීමත් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට යම් නොසන්සුන් තත්ත්වයක්ද හටගත්තේය. එම ඉදිකිරීම ඉවත්කරන ලෙස පොලිසිය නියෝග කිරීමෙන් පසුව, විරෝධතාකරුවන් එය මාර්ගය අයිනට ගෙනයෑමට කටයුතු කර ඇත .