සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත පිළිබඳව තීරණය කථානායකවරයාට . පෙත්සම් විභාගය අවසන්

රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබූ පෙත්සම් 26ක් විභාග කිරීමේ කටයුතු අද අවසාන විය .

අදාළ පෙත්සම් සම්බන්ධයෙන් වූ නීතිපති ස්ථාවරය දැනුම්දීම අද දිනට යෙදී තිබුණු අතර එහිදී නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වීම ආරම්භ කරමින් සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න කියා සිටියේ රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී සංශෝධ ඉදිරිපත් කිරීමට නියමිත බවය.

ඒ අනුව පුද්ගලයෙක් පැය 72 ක් රඳවා ගත හැකි බවට පනත් කෙටුම්පතේ සඳහන් ප්‍රතිපාදනය පැය 48 ක් ලෙස සංශෝධනය කරන බවත් , කෙටුම්පතේ අන්තර්ගත සුරා බදු පනත සම්බන්ධයෙන් වූ වැරදි සියල්ල, “පච්චා සහ සලකුණු” පිළිබඳ ප්‍රතිපාදන ඇතුළු ප්‍රතිපාදන කිහිපයක්ම ඉවත් කිරීමට යෝජිත බවත් නීතිපතිවරයා වෙනුවෙන් සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න අධිකරණය හමුවේ සඳහන් කළේය.

පෙත්සම් විභාගය පිළිබඳව තීරණය ඉදිරියෙදී කථානායකවරයා වෙත දැනුම් දීමට නියමිතය.