සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඔක්තෝබර් 16 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (13) නියම කළේය.
නීති කෘත්‍යය අද කැඳවූ අවස්ථාවේ ශිරන්ති රාජපක්ෂ වෙනුවෙන් පෙනීසිටි නීතිඥයින් ඇයට අද දිනයේ විවෘත හෘද සැත්කමක් සිදුකරන බවට කරුණු දැක්වූවද අධිකරණය විසින් ජාතික රෝහලෙන් කැඳවූ වෛද්‍ය වාර්තාවේ සඳහන් වූයේ එවැනි ශල්‍ය කර්මයක් සිදුකිරීමක් හෝ සැලසුම් කිරීමක් මෙතෙක් සිදුව නොමැති බවය.
සිරිලිය සවිය ගිණුමේ සිදුවූ බව කියන අක්‍රමිකතාවකට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ අද දක්වා බන්ධනාගාරගත කෙරුණේ ඔක්තෝබර් 07 වැනිදා ය.
කෙසේ වෙතත්, ඒ අතරතුර බන්ධනාගාර වෛද්‍ය නිර්දේශ මත ශිරන්ති රාජපක්ෂ කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට ඊයේ (12) දහවල් ඇතුළත් කෙරුණි. ඒ අනුව ඇය තවදුරටත් පසුවන්නේ රෝහල්ගතවය.