වී කිලෝවක නිෂ්පාදන පිරිවැය ඇමති ලාල් කාන්ත හරියටම කියයි .

යල කන්නයේ වී වගාව සඳහා වැයවෙන පිරිවැය වාර්තාවක් සකස් කර අවසන් බව කෘෂිකර්ම පශුසම්පත් ඉඩම් හා වාර්මාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල් කාන්ත පැවසීය . අනුරාධපුරයේ පැවැති විශේෂ ගොවි හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

කෘෂිකර්ම අමාත්‍යාංශය, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පසු අස්වනු තාක්ෂණ ආයතනය සහ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිපර්යේෂණ හා පුහුණු ආයතනය එක්ව මෙම නවතම පිරිවැය වාර්තාව සකස් කර ඇත.

ඒ් අනුව රතු නාඩු වී කිලෝවක නිෂ්පාදන පිරිවැය රුපියල් 76කි. සුදු නාඩු වී කිලෝවක නිෂ්පාදන පිරිවැය රුපියල් 87ක් වන අතර සම්බා වී කිලෝවක් සඳහා වන නිෂ්පාදන පිරිවැය රුපියල් 97ක් බව අදාළ වාර්තාවේ දැක්වේ. එමෙන්ම කීරි සම්බා වී කිලෝවක නිෂ්පාදන පිරිවැය රුපියල් 119ක් බව අදාළ වාර්තාවේ සඳහන්ය.

ගොවි සංවිධාන දීර්ඝ කාලයක් තිස්සේ කළ ඉල්ලීමකට අනුව, වී කිලෝවක පිරිවැයට සීයයට තිහක ලාභයක් එකතු කර අස්වැන්න සඳහා සාධාරණ සහතික මිලක් නියම කිරීමේ ප්‍රතිපත්තිය රජය විසින් ක්‍රියාත්මක කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය .

වී වගාවේ පිරිවැය සකස් කිරීමේදී රජය විසින් හෙක්ටයාරයකට රුපියල් 30,000ක පොහොර සහනාධාරයද ඇතුළත් කර මෙම පිරිවැය ගණන කර ඇති බව සඳහන්ය.