22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ගොඩනැගූ පොදු ප්‍රජාතන්ත්‍රවාදී එකඟතාව රැකගන්නා ලෙස ‘ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම සඳහා වන නිදහස් සටන් මධ්‍යස්ථානය’ විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත විශේෂ ලිපියක් යොමු කර ඇතිබව වාර්තා වේ .
ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්නගේ අත්සනින් යුතුව කැඳවුම්කාර මණ්ඩලයේ නියෝජිතයන් 12 දෙනෙකුගේ එකඟතාවයෙන් මෙම ලිපිය යොමු කර ඇති මෙම ලිපිය මගින් 22 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සෙසු පක්ෂ හා සංවිධානවල දායකත්වය අවතක්සේරු නොකරන ලෙසත් ඉල්ලා ඇත.
විපක්ෂයේ දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එක්ව සැප්තැම්බර් 17 වනදා ඇති කරගත් එකඟතාව මත “22 ජන බලයෙන් පරදවමු” මැයෙන් ඒකාබද්ධ විරෝධතාවක් පැවැත්වීමට තීරණය කර තිබූ බව එම ලිපියේ සඳහන් වෙයි .
එහෙත් සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ සංවිධායකවරයෙකු විසින් මෑතකදී මාධ්‍ය හමුවක් පවත්වමින් සෙසු කණ්ඩායම්වල සහභාගීත්වය හෑල්ලු වන ආකාරයේ ප්‍රකාශ සිදුකිරීම පිළිබඳව එම මධ්‍යස්ථානය සිය බලවත් කනගාටුව පළ කරනා බව එම ලිපියේ සඳහන් වෙයි .
එම ප්‍රකාශ සජබයේ නිල ස්ථාවරයද යන්න පැහැදිලි කරන ලෙස ඉල්ලා සිටින නිදහස් සටන් මධ්‍යස්ථානය, එක් පාර්ශ්වයක වැදගත්කම තහවුරු විය යුත්තේ අනෙක් පාර්ශ්වයන් පහත් කිරීමෙන් නොවන බව අවධාරණය කර සිටියි .