විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දිගු කරනවාට අධිකරණ සේවා සංගමයේ විරෝධය.

උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා වත්මන් රජය ගෙනයන ක්‍රියාමාර්ගයට අධිකරණ සේවා සංගමය සිය විරෝධය පල කරයි . ඊයේ (11) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී පැවැති විශේෂ මහා සභා රැස්වීමක්දී ආණ්ඩුවේ යෝජනාවට එරෙහි එහි පැමිණි විනිසුරුවරුන් සිය ඡන්දය ප්‍රකාශකර කිරීමෙන් සිය විරෝධය පලකර සිටීහ . එම රැස්වීමට විනිසුරුවරුන් 65 දෙනෙකු සහභාගී වී සිටි අතර, ඔවුන් සියලු දෙනාම ආණ්ඩුවේ යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබේ .

කෙසේ වෙතත්, සාමාජිකයින් 250 කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරන අධිකරණ සේවා සංගමයේ මෙම විශේෂ මහා සභා රැස්වීම කැඳවීම පිටුපස බරපතල ව්‍යවස්ථාපිත සහ පරිපාලනමය ගැටලුකාරී තත්ත්වයක් ඇතිබව මේ සම්බන්ධයෙන් අදහස් දක්වන්නෝ පවසති.

මෙම රැස්වීම කැඳවීමේදී විධායක සභාවේ අනුමැතිය ලබා දී තිබුණේ සාමාජිකයින් 40 ගණනක් පමණක් වන අතර, රැස්වීම නීත්‍යනුකූලව කැඳවීමට තවත් සාමාජිකයින් 40කගේ පමණ හිඟයක් පවතියි . එම හේතුවෙන් මෙම මහා සභා රැස්වීම කැඳවිය නොහැකි බවට එහි සභාපති කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන විසින් ප්‍රබල තර්කයක් මතු කර තිබුණි .

එහෙත් එම ගැටලුව නොතකා, අධිකරණ සේවා සංගමයේ සහකාර ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රය තුළ මෙම විශේෂ මහා සභා රැස්වීම පවත්වා ඇත .

මේ අතර අධිකරණ සේවා සංගමයේ (JSA) සභාපතිවරයා ලෙස කටයුතු කළ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන එම තනතුරින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වී ඇතිබව වාර්තා වේ.