ශබ්ද විකාශන යන්ත්‍ර, ඇතුළු ශබ්ද උපකරණ භාවිතයට අදාල නව මාර්ගෝපදේශ මාලාව ශ්‍රි ලංකා පොලිසිය විසින් නිකුත් කර ඇත .
ඒ අනුව පොලිස් නිලධාරීන් ලබා දෙන උපදෙස් හා අනතුරු ඇඟවීම් නොසලකා හරිමින් අධික ලෙස ශබ්දය පතුරුවන්නේ නම් අදාළ උපකරණ තහනම් කිරීමට පියවර ගන්නා බව පොලීසිය අවධාරණය කරයි.
මහජනතාවගේ සාමකාමී ජීවිතයට බාධා නොවන ලෙසත්, නීත්‍යනුකූල රාමුව තුළ සිටිමින් පමණක් මෙම ශබ්ද උපකරණ භාවිතා කළ යුතු බවත් පොලීසිය පෙන්වා දෙයි. අධික ශබ්ද දූෂණය හේතුවෙන් කුඩා දරුවන්, පාසල් සිසුන්, වැඩිහිටියන් මෙන්ම රෝගීන් දැඩි සෞඛ්‍යමය හා මානසික පීඩාවන්ට ලක්වන බව පොලීසිය නිකුත්කළ මාර්ගෝපදේශ සංග්‍රහයේ දැක්වෙයි .
ශ්‍රේෂ්ඨාධිකරණ නඩු අංක 38/2005 දරන නියෝගයට අනුව, මහජනතාවට පීඩාවක් වන පරිදි ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීම දණ්ඩ නීති සංග්‍රහයේ 261 වන වගන්තිය යටතේ “මහජන පීඩාවක්” ලෙස සලකා නීතිය ක්‍රියාත්මක කළ හැක .
සාමාන්‍යයෙන් පූර්ව ප්රචාරක ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය රාත්‍රී 10 පසුදින උදෑසන 6 දක්වා කාලය තුළ සම්පූර්ණයෙන්ම තහනම් වේ. කෙසේ වෙතත්, විශේෂ ආගමික උත්සව සහ වෙනත් විශේෂ සංස්කෘතික හෝ පොදු වැඩසටහන් සඳහා නීත්‍යනුකූල අවසර ලබාගත හැක. එලෙස පොලිස් අවසරය ලබන අවස්ථාවලදී:
සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 10 දක්වා, සිකුරාදා සහ සෙනසුරාදා අලුයම 1.00 දක්වා සහ ඉරිදා මධ්‍යම රාත්‍රී 12.30 දක්වා ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීමට අවසර හිමිවේ.
කෙසේ වෙතත්, මෙම කාල සීමාවන් ලබාදීම යනු අධික ලෙස ශබ්දය නැංවීමට ලැබෙන ස්වයංක්‍රීය හිමිකම් පත්‍රයක් නොවන බව පොලීසිය මතක් කර දෙයි. විශේෂ අවසරයක් සහිතව වුවද, නිකුත් වන ශබ්දය අදාළ පරිශ්‍රයට පමණක් සීමා විය යුතු අතර අසල්වාසීන්ට පීඩාවක් නොවිය යුතුය.
ලබාදී ඇති කොන්දේසි නිසි පරිදි ඉටු වන්නේද යන්න නිරීක්ෂණය කිරීමට පොලිස් නිලධාරීන් යෙදවීමට පියවර ගෙන ඇත. ශබ්ද පීඩාවන් සම්බන්ධයෙන් මහජන පැමිණිල්ලක් ලැබී, එම ශබ්දය මහජන පීඩාවක් බවට නිලධාරීන් නිගමනය කළහොත්, ශබ්දය වහාම පාලනය කරන ලෙස අදාළ පාර්ශ්වයන්ට නියෝග කරනු ලැබේ. ඊට පතැනිව කටයුතු සිදුවන්නේ නම් එකී ශබ්ද විකාශන උපකරණ පොලිස් භාරයට ගෙන නීතිමය පියවර ගැනීමටත් කටයුතු කරනා බව පොලීසිය පවසයි .
නීති විරෝධී හෝ අධික ශබ්ද නැංවීම් පිළිබඳ තොරතුරු ළඟම පිහිටි පොලිස් ස්ථානය වෙත හෝ 118 / 119 හදිසි ඇමතුම් අංක ඔස්සේ පොලීසිය වෙත දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.