ලාෆ් ගෑස් මිල වැඩි කිරීම රටටම බලපානා ප්‍රශ්ණයක් නොවේ.

ලංකාවේ ගෑස් වෙළෙඳපොළෙන් 90% ක් සපයන්නේ ලිට්‍රෝ සමාගමෙන් බවත්, එම සමාගම මාසිකව ගෑස් සිලින්ඩර ලක්ෂ 20 ක් පුරවන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පැවසීය. එහෙත් වෙළඳපොළේ අනෙක් තරගකාරී සමාගම වන ලාෆ් සමාගම මසකට පුරවන්නේ ගෑස් සිලින්ඩර් ලක්ෂා 3 ක් පමනක් බවත් ඔහු පාර්ලිමේන්තුවේදී අද පැවසීය . අමාත්‍යවරයා මේ බව පැවසූවේ ලාෆ්ස් ගෑස් මිල වැඩිකිරීම සම්බන්ධයෙන් විපක්ෂය එල්ලකළ චෝදනාවන්ට පිළිතුරු දෙමිනි.

මේ අතර වෙළෙඳපොළේ පවතින ඉල්ලුම සැලකිල්ලට ගෙන ලිට්‍රෝ ගෑස් සමාගම තවත් සිලින්ඩර් ලක්ෂයක් ඇණවුම් කර ඇති බවත්, ඉන් දෙසැම්බර් මස වනවිට 35,000 ක් පැමිණීමට නියමිත බවත් අමාත්‍යවරයා පැවසීය .

අයවැයෙන් ජනතාවට සහන රැසක් ලබාදී ඇති බවත්, එම සහන යටගැසීමේ අරමුණෙන් ගෑස් මිල ඉහළ දැමූ බවට සමාජය තුළ මතයක් ගොඩනැගීම සඳහා මෙලෙස ගෑස් මිල වැඩිකර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. එනිසා ලාෆ්ස් ගෑස් මිල වැඩිකිරීම මුළු රටේම ගෑස් ප්‍රශ්නයක් නොවන බවත්, එය අර්බුදයක් කිරිමට විපක්ෂය උත්සාහ දරන බවත් පැවසීය.

මෙම ප්‍රශ්නය විසඳීමට රජය සූදානම් බව පැවසූ අමාත්‍යවරයා, ගෑස් සිලින්ඩරේ වර්ණය කුමක් වුවත්, කැමති අයෙකුට ඕනෑම වර්ණයක සිලින්ඩරයක් මිලදී ගැනීමේ අවස්ථාව් සැලසීමට බලාපොරොත්තු වන බවද මෙහිදී පැවසීය.