රුධිර පරික්ෂණයකට රුපියල් 150 වැඩියෙන් අයකළාට දඩය රුපියල් ලක්ෂ 30 යි .

රුධිර පරීක්ෂාවක් සඳහා රජය විසින් නියම කර ඇති පාලන මිල ඉක්මවා මුදල් අයකළ යාපනය Venus Speciality Hospital ආයතනයට රුපියල් ලක්ෂ 30ක (මිලියන 03ක) දඩයක් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

මීට අදාල නඩුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරන ලද්දකි . එම නඩුව ජූලි 21 වන දින කැඳවූ අවස්ථාවේදී මෙම තීන්දුව ලබදෙන ලදි .

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් පනවා ඇති නීතිමය රෙගුලාසිවලට අනුව පෞද්ගලික අංශයේ රසායනාගාර හෝ රෝහල් මඟින් FBC පරීක්ෂාවක් සඳහා අය කළ හැකි උපරිම ගාස්තුව රුපියල් 400/- කි. එහෙත් යාපනය, පලාලි පාරේ, කන්දර්මඩම් ප්‍රදේශයේ පිහිටි Venus Speciality Hospital (Pvt) Ltd රෝහල මඟින් FBC පරීක්ෂාවක් සඳහා රුපියල් 550/- බැගින් පාරිභෝගිකයන්ගෙන් අයකර ඇත .

නඩුව කැඳවූ අවස්ථාවේ විත්තිකාර රෝහල් කළමනාකාරීත්වය අදාළ වරද පිළිගන්නා ලදි . දඩ මුදලට අමතරව තමන් සිදුකරන ලද වරද පිළිබඳව විත්තිකාර පුද්ගලික රෝහලේ වියදමින් ප්‍රධාන පුවත්පත්වල ප්‍රසිද්ධ නිවේදනයක් පළ කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.