රටපුරා ග්‍රාම නිළධාරීන් ලෙඩ වෙති .

ගමන් වියදම් දීමනාව ඉහළ නොදැමීමට විරෝධය දැක්වීම සහ 2024 වසරේ සිට අනුමත කර ඇති ඉහළ දමනා ලද ගමන් වියදම් දීමනාව ලබානොදීමට එරෙහිව දිවයිනේ සියළු ග්‍රාම නිලධාරින් හෙට (10) සහ අනිද්දා (11) යන දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා කර සේවයට වාර්තා නොකර සිටීමට තීරණය කර ඇති බව ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානයේ සභාපති නන්දන රණසිංහ පැවසීය .

ග්‍රාම නිලධාරීන් සඳහා දෙනු ලබන රුපියල් 600 ක ගමන් වියදම් දීමනාව වසර 8 ක් පුරාවට වැඩි නොකර ඇති බවත්, 2024 වසරේදී අදාළ දීමනාව වෙනුවට ඉන්ධන ලීටර් 20 කට සමාන දීමනාවක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙන බවත් ඔහු පැවසීය .

එහෙත් එම දිමනාව මේ දක්වා ලබා දී නැති බැවින් ඊට විරෝධය පළ කරමින් හෙට (10) සහ අනිද්දා (11) මෙම වෘත්තීය සමිති ක්‍රියමාර්ගය ආරම්භ කර ඇතිබව ඔහු සඳහන් කළේය.

කොළඹ අද (09) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.