යතුරුපැදි කරුවන් දෙදෙනෙකුට මරු කැඳවූ අනතුරේ කන්ටේනර් රියදුරා ඇප මත මුදාහරී.

කටාන පොලිස් වසමේ දාගොන්න බී.සී.අයි ( BCI ) පෞද්ගලික විශ්ව විද්‍යාලය අසලදී බහාලුම් ප්‍රවාහනය කළ ට්‍රක් රථයක යතුරු පැදිකරුවන් දෙදෙනෙකු ගැටීමෙන් සිදුවූ අනතුරට අදාලව මිගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කරනා ලද ට්‍රක් රථයේ රියදුරු රියදුරු රුපියල් ලක්ෂ පහක ශරිර ඇප දෙකක් මත මුදා හරින ලෙස මීගමුව අතිරේක මහෙස්ත්‍රාත් සුභානි අබේසේකර මහත්මීය ඊයේ (30) නියෝග කළාය . එසේ ඇප මත මුදා හැරුනේ උදිත දිලංක නිර්මල නැමති පන්නිල තැන්න ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකි.

යතුරු පැදියක ගමන්ගත් තරුණයින් දෙදෙනෙකු එම කන්ටේනර් රථයේ ගැටිම හේතුවෙන් තරුණයින් දෙදෙනා එම ස්ථානයේදීම මියගොස් තිබුනි.

අනතුරින් මරනයට පත් වුයේ සිරිවර්ධන ආරච්චිලාගේ තලිශ නිම්නෙත් සිරිවර්ධන (අවුරුදු 18) සහ විජේසුන්දර අප්පුහාමිලාගේ කවිදු හශාන් සෝමතිලක (අවුරුදු 19) තරුණයන් දෙදෙනෙකි.

අනතුර හේතුවෙන් කෝපයට පත් වූ දාගොන්න ප්‍රදේශයේ පදිංචිකරුවන් විසින් අනතුරට පත් බහාලුම් ප්‍රවාහනය කරන ලද කන්ටේනර් රථයට ගිණි තැබු අතර පසුව කටාන පොලිස් ස්ථානයේ නිළධාරින් හා මීගමුව නගර සභාවේ ගිණි නිවිමේ ඒකකයේ නිළධාරින් එම ස්ථානයට පැමිණ ගිණි ගැනීමට ලක්වූ කන්ටේනර් රථයේ ගින්න නිවාදමා එම ස්ථානයේ කලහකාරි ලෙස හැසිරුනු පුද්ගලයින් පාලනය කලහ.

අනතුරෙන් මියගිය පුද්ගලයින්ගේ මෘත දේහ මීගමුව රෝහල වෙත රැගෙනයන ලද අතර කන්ටේනර් රථයේ රියදුරු කටාන පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය .

එහිදී රියදුරා වෙනුවෙන් කරුණු දැක්වු නීතිඥ ඉන්දික සිල්වා කියා සිටියේ තරුණයන් දෙදෙනා තවත් යතුරු පැදියක ආ තරුණයන් දෙදෙනෙකු සමඟ අධික වේගයෙන් තරඟයට පැමිණි අතර වේගය පාලනය කර ගත නොහැකිව කන්ටේනර් රථයේ ගැටි ඇති බවයි.

කරුණු සලකා බැලු අතිරේක මහෙස්ත්‍රාත්වරිය නියෝග කළේ සැකකරු රුපියල් ලක්ෂ පහක ශරිර ඇප දෙකක් මත මුදා හරින ලෙසත්, අගතියට පත් පාර්ශ්වය වෙත සානුකම්පිත දිමනාව ලෙස රුපියල් ලක්ෂ දෙකක මුදලක් ගෙවන ලෙසයි. එමෙන්ම නඩු කටයුතු අවසන් වන තෙක් සැකකාර රියදුරාගේ රියදුරු බලපත්‍රය අත්හිටුවන ලෙසද නියෝග කළාය.

නඩුව නැවත අගෝස්තු 03 කැඳවීමට නියමිත අතර එදින මරණ පරික්ෂණ වාර්තා සහ සැකකාර රියදුරාගේ වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නියෝග මහේස්ත්‍රාත්වරිය නියෝග කළේය.