සමාජ මාධ්‍ය සේවා සපයන ප්‍රධානතම සමාගමක් වන මෙටා සමාගමට ඩොලර් මිලියන 567ක වන්දි මුදලක් ගෙවන ලෙස ඇමරිකාවේ නව මෙක්සිකෝ ප්‍රාන්තයේ අධිකරණයේ දිස්ත්‍රික් විනිසුරු Bryan Biedscheid විසින් නියෝග කර තිබේ.
ඒ එම සමාගම ළමුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ජනතාවට ප්‍රමාණවත් අනතුරු ඇඟවීම් ලබා නොදුන් බවට වන චෝදනාවක් සම්බන්ධයෙනි .
සිය තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරුවරයා සඳහන් කළේ මෙටා සමාගම ” public nuisance” බවට පත්ව ඇති අතර, වායු දූෂණයෙන් මෙන්ම එම සමාගමේ බලපෑම්ද සමාජයට අහිතකර ලෙසින් බලපානා බවය. වැඩි දුරටත් කරුණු දැක්වූ විනිසුරුවරයා සිය තීන්දුවේදී මෙටා සමාගම කර්මාන්ත ශාලාවකට සමාන කරමින්, එහි නිෂ්පාදනය වෙළෙඳ දැන්වීම් සහ අන්තර්ගතය වන අතර, ළමුන්ට සිදුවන මානසික හානි සහ ලිංගික හිංසනය එම කර්මාන්ත ශාලාවෙන් නිකුත් වන දූෂණය ලෙස සැලකිය යුතු බව ප්‍රකාශ කළේය. එම තත්ත්වය සැළකිල්ලට ගනිමින් අනාගත සිදුවන හානි අවම කිරීම සඳහා විශේෂ අරමුදලක් පිහිටුවීමටද විනිසුරුවරයා නියෝග කර ඇත.
මෙම තීන්දුවට පෙරද එම නඩුවේදී මෙටා සමාගමට ඩොලර් මිලියන 375ක දඩයක් නියම කර තිබූ අතර, ඒ අනුව සමස්ත දඩ මුදල ඩොලර් මිලියන 942ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙටා සමාගම මෙම තීන්දුව ප්‍රතික්ෂේප කරමින් අභියාචනයක් ඉදිරිපත් කරන බව ප්‍රකාශ කර ඇත.
සමාගම පවසන්නේ තම වේදිකාවන්හි පරිශීලකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අඛණ්ඩව කටයුතු කරන බවත්, හානිකර අන්තර්ගතය සහ අයහපත් ක්‍රියාකාරීන් හඳුනාගෙන ඉවත් කිරීමේ අභියෝග පිළිබඳ විවෘතව කටයුතු කර ඇති බවත්ය.
සමාජ මාධ්‍ය සමාගමක් ” public nuisance” ලෙස අධිකරණයක් විසින් නිල වශයෙන් නම් කළ පළමු අවස්ථාව ලෙසද සැලකේ.