ශ්‍රී ලංකාවේ මධ්‍යසාර පරිභෝජනය ඉහළ යමින් පවතින බව සංඛ්‍යාලේඛන මගින් පෙනීගොස් ඇතැයි මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සඳහන් කරයි .
දේශීය බියර් නිෂ්පාදනය 5% කින් සහ මත්පැන් නිෂ්පාදනය 17%කින් ඉහළ ගොස් ඇති අතර, එමඟින් මධ්‍යසාර පරිභෝජනයේ අනුරූප වැඩිවීමක් පෙන්නුම් කරන බව එම මධ්‍යස්ථානය පෙන්වාදෙයි . 2025 දත්ත මත පදනම්ව මේ සංඛ්‍යාලේඛණ ඉදිරිපත්කර ඇත .
2024 ආරම්භයේදී සිදු කරන ලද මිල ඉහළ දැමිමෙන් පසු මධ්‍යසාර මිල ඉහළ නොයාම මීට හේතුවී ඇතිබව එම ආයතනය සඳහන් කරයි .
මෙම කාලය තුළ සුරාබදු ආදායම යම් වැඩිවීමක් පෙන්නුම් කර ඇති අතර, මධ්‍යසාර පරිභෝජනය ඉහළ යෑමේ සමාජීය හා සෞඛ්‍යමය බලපෑම් බදු ආදායමේ ලාභවලට වඩා වැඩි බවට එම මධ්‍යස්ථානය අනතුරු ඇඟවයි.
2023 දී මධ්‍යසාර බද්දේ 20% ක වැඩිවීම හේතුවෙන් 2022ට සාපේක්ෂව මධ්‍යසාර අලෙවිය ලීටර් මිලියන 8.3 කින් අඩු කිරීමට හේතු වූ අතර රජයේ බදු ආදායම රුපියල් බිලියන 11.6 කින් ඉහළ ගොස් ඇත.
ඒ හා සමානව, 2024 ආරම්භයේදී මත්පැන් සඳහා බදු තවත් 20%කින් වැඩි කිරීමෙන් පසුව, මත්පැන් අලෙවිය පෙර වසරට සාපේක්ෂව ලීටර් 430,000කින් පහත වැටුණු අතර, බදු ආදායම රුපියල් බිලියන 42.15 දක්වා වැඩි වූ බව එම මධ්‍යස්ථානය වැඩිදුරටත් පෙන්වා දෙයි . කෙසේ වෙතත් නීත්‍යානුකූලව සිදුකරන මත්පැන් අලවිය සහ නිෂ්පාදනය අඩුවීමට සාපේක්ෂව ප්‍රමිතියෙන් තොර නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය සහ අලවිය ඉහළයන බව බොහෝ පාර්ශව පෙන්වාදි ඇත .