බ්‍රසීලයේ හෙලිකොප්ටර් අනතුරකින් කොලොම්බියානු කාන්තාවන් තිදෙනෙක් මරුට.

බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නගරයේ සිදු වූ හෙලිකොප්ටර් අනතුරකින් කොලොම්බියානු ජාතික කාන්තාවන් තිදෙනෙක් සහ එම යානයේ බ්‍රසීල ජාතික නියමුවා මියගොස් ඇතිබව වාර්තා වේ.

ඊයේ පස්වරුවේ සිදුවූ මේ අනතුරින් එම හෙලිකොප්ටරයේ ගමන් කරමින් සිටි එකම පවුලේ සාමාජිකාවන් වූ කොලොම්බියානු කාන්තාවන් තිදෙනෙකු මියගොස් ඇති බව රියෝ ද ජැනයිරෝ හි කොලොම්බියානු කොන්සල් ජෙනරාල් ඩයනා පේස් ප්‍රංශ ප්‍රවෘත්ති ඒජන්සියට පවසා ඇත .

අනතුරින් මියගිය පිරිස අතර 15 වන වියේ ගැහැණු ළමයෙකුද සිටි බවත්, ඇයගෙ උපන්දිනය සැමරීම සඳහා මේ ගුවන් චාරිකාව ඇගේ පවුලේ සාමාජිකාවන් දෙදෙනෙක් වීසින් සංවිධානය කර ඇතිබව ඇය වැඩි දුරටත් පැවසූවාය .

යානය ඝන වනාන්තර සහිත කඳුකර ප්‍රදේශයක් වන ටිජුකා ජාතික වනෝද්‍යානය හරහා නැරඹුම් චාරිකාවක යෙදෙමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇත .

අනතුරෙන් පසු ප්‍රකාශයක් කරමින් රියෝ ද ජැනයිරෝ නගරාධිපති එඩ්වාඩෝ කැවලියර්, හෙලිකොප්ටර් ගුවන් ගමන් වඩාත් අධීක්ෂණය කරන ලෙස වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටියේය.