බස් සහ මෙට්‍රෝ බස් අතර වෙනස නියෝජ්‍ය ඇමති ප්‍රසන්න කියාදෙයි .

අළුතින් ආරම්භ කරනා ලද මෙට්‍රෝ බස් සේවාව ධාවනය වන්නේ සම්පූර්ණයෙන්ම අලුත්ම මාර්ග ඔස්සේ බවත්, සාමාන්‍ය බස් රථ ධාවනය වන සාම්ප්‍රදායික මාර්ගවල හෝ ඊට සමාන්තරව මෙම බස් රථ ධාවනය නොවන බවත් ඔහු එහිදී සඳහන් කළේය .

දැනට පවතින ලංගම සහ පෞද්ගලික පොදු ප්‍රවාහන බස් රථ සේවාවලින් බැහැරව, මෙට්‍රෝ බස් රථ ලක්ෂරි නමැති සම්පූර්ණයෙන්ම අලුත් කාණ්ඩයක් යටතේ මෙහෙයවනු ලබන බව ඔහු සඳහන් කළේය . එහි ගාස්තු සාමාන්‍ය ගාස්තුවලට වඩා දෙගුණයක් වැඩි බවත් ඔහු සඳහන් කළේය .

එමෙන්ම මෙම ව්‍යාපෘතියේ මූලිකම ප්‍රමුඛතාවය සහ ඉලක්කගත කණ්ඩායම වන්නේ පෞද්ගලික වාහන වලින් රැකියා සහ වෙනත් අවශ්‍යතා සඳහා කොළඹ නගරයට පැමිණෙන පිරිස බවත්, එම කණ්ඩායම් නියමිත නැවතුම්පොළවල තමන්ගේ පෞද්ගලික වාහන ගාල් කර මෙම මෙට්‍රෝ බස් රථ සේවාව භාවිතයෙන් කොළඹ නගරය වෙත පැමිණීම රජයේ අපේක්ෂාව බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය . එමඟින් නගරයේ පවතින දැඩි වාහන තදබදයට ස්ථිරසාර විසඳුමක් ලැබෙනු ඇති බව ඔහු පෙන්වා දුන්නේය .

මෙම නව සේවාව සඳහා සම්පූර්ණයෙන්ම අලුත් මාර්ග සහ අලුත් බස් රථ යොදවන බැවින්, දැනට ඩිපෝ හරහා ධාවනය වන සාමාන්‍ය බස් රථ ඉවත් කිරීමක් සිදු නොවන බව නියෝජ්‍ය ඇමතිවරයා අවධාරණය කළේය . සාමාන්‍ය මගී ඉල්ලුම සහ මෙට්‍රෝ බස සේවයේ ඉලක්කගත මගී කණ්ඩායම් එකිනෙකට වෙනස් බැවින්, සාමාන්‍ය බස් රථ ධාවන කාලසටහන්වලට මෙයින් කිසිදු බලපෑමක් හෝ ගැටීමක් සිදුනොවනා බවද ඔහු පැවසීය .

නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පාර්ලිමේන්තුවේදී අද මෙලෙස අදහස් දැක්වීය .