ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේ වැදගත්කම සෞඛ්‍ය ඇමති අවධාරණය කරයි .

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරි ඉලක්ක සපුරා ගැනීමට දක්ෂ හා කැපවීමෙන් යුත් සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සේවය අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසීය .

ඔහු මේ බව පැවසූවේ පරිපූරක (PSM) සහ අතුරු වෛද්‍ය (Paramedical) ක්ෂේත්‍රයන්හි වෘත්තිකයන් 952ක් සඳහා ඩිප්ලෝමා හා උසස් ඩිප්ලෝමා ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි . එම උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී ඊයේ පැවැත්විනි .

මහජන සෞඛ්‍ය පවුල් සෞඛ්‍ය සේවිකාවන් (PHM) 449 ක්, මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීන් (PHFO) 77ක් ලෙස වෘත්තිකයින් 526කට ඩිප්ලෝමා ප්‍රදානය කිරීම එහිදී සිදුවිය .

පාසල් දන්ත චිකිත්සක සේවා (School Dental Services – SDT), ඖෂධවේදී (Pharmacy) සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක (Public Health Inspector – PHI) යන ක්ෂේත්‍රයන්හි වෘත්තිකයන් සඳහා උසස් ඩිප්ලෝමා (Higher Diploma) පිරිනැමීමද මෙහිදි සිදුවිය .

ඒ අනුව, පාසල් දන්ත චිකිත්සක සේවා වෘත්තිකයින් (SDT) 39ක්, ඖෂධවේදී (Pharmacy) 149ක්, මහජන සෞඛ්‍ය පරීක්ෂක (PHI) 238 ක් වශයෙන් වෘත්තිකයින් 426කට උසස් ඩිප්ලෝමාලා පිරිනැමීම සිදුකර තිබේ.

ඩිප්ලෝමා ප්‍රදානය කිරීමෙන් අනතුරුව උපාධිධාරීන් අමතමින් අදහස් දැක් වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසා සිටියේ මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අභියෝගාත්මක ඉදිරි ගමනේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම රජයේ ප්‍රධාන ඉලක්කයක් බවයි. එම ඉලක්කය සපුරා ගැනීම සඳහා දක්ෂ හා කැපවූ සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සේවය සෞඛ්‍ය සේවාව සඳහා අත්‍යාවශ්‍ය බව ද ඔහු පැවැසීය.

මාතෘ හා ළමා සෞඛ්‍ය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකින් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය හා ජාත්‍යන්තර කීර්තිය ඉදිරියට ගෙන යාම මෙම නව වෘත්තිකයන්ගේ වගකීමක් බව ද වෘත්තීය දියුණුව රටේ අනාගත සෞඛ්‍ය අභියෝග ජය ගැනීමට විශාල ශක්තියක් වනු ඇති බව ද එහිදී අවධාරණය කරන ලදී.