දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සිදු කරමින් පැවති රාත්රී මුර සංචාර සේවා කටයුතු මේවන විට නිසි අයුරින් ක්රියාත්මක නොවීම වනවාසල දුම්රිය පීළි පැනීම වැනි අනතුරු සඳහා හේතුවක් බව ලොකෝමෝටිව් ඉංජිනේරු සංගමය ඉල්ලීමක් සඳහන් කරයි .
එම සංගමයේ සභාපති ජීව ගුණවර්ධන සඳහන් කළේ රාත්රී මුර සංචාර සේවා නිසි ලෙස ක්රියාත්මක වන්නේ නම් මෙවැනි අනතුරු සිදු වීම වළක්වා ගැනීමට හැකි බැවින් එම සේවාවාර වහාම නැවත් ආරම්භ කිරීමට කටයුතු කළයුතු බවය .
එමෙන්ම දුම්රිය ධාවනයේදී රියදුරා විසින් නිරීක්ෂණය කර දක්වන කරුණු මත පාලක මැදිරිය හෝ වෙනත් අංශ සඳහා සිදු කරනු ලබන දැනුවත් කිරීම් සම්බන්ධයෙන් ද දැඩි අවධානයක් යොමු කරන මෙන් ඔහු දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියේය .
වැඩිදුරටත් අදහස් දක්වූ ලොකෝමෝටිව් ඉංජිනේරු සංගමයේ සභාපති ජීව ගුණවර්ධන මෙලෙස සඳහන් කළේය .
”පිලී පැනීමට ලක්වූ දුම්රිය ධාවනය වීමට ප්රථමයෙන් දුම්රියන් දෙකක් එතනින් ධාවනය වුණා. අංක 84 දරන ත්රිකුණාමලයේ සිට පැමිණෙන රාත්රී තැපැල් දුම්රිය ඉන් එකක් . එම දුම්රියේ රියදුරු වනවාසල අසල තිබෙන පාලන සංඥාවේ යම්කිසි දෝෂ තත්ත්වයක් නිරීක්ෂණය වෙලා තියෙනවා. ඒ සමඟ එයා එතන දුම්රිය නවත්වලා ඒ පිළිබඳව දුම්රිය පාලක මැදිරියට දැනුම් දීමට කටයුතු කරලා තියෙනවා.
ඒ වගේම ඒ දැනුම් දීමට කටයුතු කිරීමෙන් පසුව, එතනින් ලැබුණු උපදෙස් මත තමයි ඉදිරියට දුම්රිය ධාවනය කරලා තියෙන්නේ. ඊට පසුව කන්කසන්තුරේ සිට පැමිණි රාත්රී තැපැල් දුම්රියත්, අර දුම්රියේ ප්රමාදය මත වනවාසල දුම්රිය ස්ථානය අසල පාලන සංඥාවේ නතර කරලා තමයි ධාවනය කරලා තිබෙන්නේ. ඊට පසුව පැමිණි අංක 507 දරන දුම්රිය තමයි මේ අනතුරට ලක්වුණේ. එතකොට ඒ දුම්රියත් එම දුම්රිය ස්ථානයේ නවත්තලා තමා ධාවනය කරලා තියෙන්නේ.
ඇත්තටම මේ අනතුර සිද්ධ වෙලා තියෙන්නේ කසළංගනයට යොදා තිබෙන මාර්ගය ප්රධාන මාර්ගය සමඟ යොදා තිබෙන පයින්ටුවේ (Point) යම්කිසි කඩාකප්පල්කාරී ක්රියාවක් නිසා සිද්ධ වෙච්ච දෝෂයක් හේතුවෙන්. මෙහිදී ඇත්තටම අපිට සංගමයක් විදිහට ඉල්ලන්න තියෙන්නේ, මීට කලින් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් රාත්රී මුර සංචාරය සඳහා යොදවා තිබුණු, මාර්ග කර්මාන්ත අංශයෙන් යොදවා තිබුණු ඒ මුර සංචාර සේවා කටයුතු දැන් ඇත්තටම සිද්ධ වෙන්නේ නැහැ. ඉදිරියේදී මේ වැනි අනතුරු වළක්වා ගැනීමට එම සේවා වාර වහාම යොදවන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටිනවා.
ඒ වගේම මෙම දුම්රිය ධාවනයේදී දුම්රිය රියදුරා විසින් දකින සහ එයා නිරීක්ෂණය කරලා දක්වන කරුණු සහ ඒ නිරීක්ෂණය කරන දේවල් මත දුම්රිය පාලක මැදිරිය හෝ වෙනත් අංශ කරන දැනුවත් කිරීම් පිළිබඳව නිසි වගකීමකින් යුතුව කටයුතු කරන්න කියන ඉල්ලීම දුම්රිය දෙපාර්තමේන්තුවෙන් කරනවා.”