දිවයින පුරා සිදුවු රිය අනතුරුවලින් පස් දෙනෙක් මරුට

දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඊයේ දිනය තුළ සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට ඇතැයි පොලිසිය පවසයි. කිරින්ද, හබරණ, අනුරාධපුර, මැදවච්චිය, හක්මණ යන පොලිස් බල ප්‍රදේශ තුළ මෙම රිය අනතුරු වාර්තා වී තිබේ.

ඊයේ අලුයම කිරින්ද පොලිස් වසමේ කිරින්ද තිස්සමහාරාම මාර්ගයේ විලමුල්ල ප්‍රදේශයේදී කිරින්ද දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ධාවනය වී අනතුරක් සිදුව තිබේ. අනතුරින් බරපතළ තුවාල ලැබූ පැදිකරු හා තවත් පුද්ගලයෙකු දෙබරවැව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඔහු කැකිරාව ප්‍රදෙශයේ පදිංචිකරුවෙක් ලෙස අඳුනාගෙන ඇත . තුවාල ලැබූ අනෙක් පුද්ගලයා ප්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහලට මාරු කර යවා ඇත.

හබරණ පොලිස් වසමේ හබරණ කන්තලේ මාර්ගයේ අලුත්ඔය ප්‍රදේශයේදී මෝටර් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ලොරි රථයක ගැටී අනතුරක් සිදුව තිබේ.
අනතුරින් බරපතළ තුවාල ලැබූ මෝටර් රථයේ රියදුරු හා එහි ගමන් ගත් කාන්තාවක් කන්තලේ රෝහලට ඇතුළත් කරන ලදුව කාන්තාව මියගොස් ඇත.

අනුරාධපුර පොලිස්වසමේ අනුරාධපුර රඹෑව මාර්ගයේ සාලියපුර ප්‍රදේශයේදී යතුරුපැදියක් ඉදිරියෙන් ධාවනය වූ බස් රථයක් පසු කරයාමට උත්සාහ කිරීමේදී යතුරුපැදිය බස් රථයේ ගැටී පැදිකරු එම බස් රථයටම යටවී ජීවිතක්ෂයට පත්ව ඇත .

මැදවච්චිය පොලිස් වසමේ කිරිගල්වැව ප්‍රදේශයේදී මැදවච්චිය දෙසට ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට ධාවනය වී ඇළකට පෙරළීමෙන් එක් කාන්තාවක් මියගොස් ඇත .

හක්මන කරතොට මාර්ගයේ කරතොට ප්‍රදේශය ආසන්නයේදී හක්මන දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් විදුලි රැහැන් කණුවක ගැටීමෙන් සිදුවූ අනතුරකින බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු තංගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇත.